Sunday, April 28, 2024
Follow Us
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදී‍මේ දී සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළා

රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබාදී‍මේ වැඩසටහනේ දී ඉතා සාධාරණ ක්‍රමවේදයක් රජය අනුගමනය කළ බවත් උපාධිය සම්පූර්ණ කළ වර්ෂය සැලකිල්ලට ගනිමින් එම පත්වීම් ලබාදුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පා‍ර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.

රැකියා විරහිතව සිටින 54825ක් වන උපාධිධාරීන් අතරින් අදියර දෙකක් යටතේ උපාධිධාරීන් හට වත්මන් රජය රැකියා ලබාදූන් අතර පළමු අදියර යටතේ උපාධිධාරීන් 3200 ක් සඳහාත් දෙවැනි අදියර යටතේ උපාධිධාරින් 16800 ක් සඳහාත් රැකියා ලබාදීමට රජයට හැකිවූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනේ දී 2016 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර උපාධිය සම්පූර්ණ කරන ලද රාජ්‍ය විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර ශිෂ්‍යයන් සඳහාත් 2011 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර රජයේ විශ්ව විද්‍යාලයකින් බාහිර උපාධිලාභින්ටත් පත්වීම් ලබාදීමට කටයුතු කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපාධිධාරීන් වෙත රැකියා ලබාදීමේ වැඩසටහනේ දෙවැනි අදියරේ දී පත්වීම් ලබා නොගත් අභ්‍යාසලාභි උපාධිධාරීන්ගේ පුරප්පාඩු වෙනුවෙන්ද ඉදිරියේ දී බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය‍.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා සැළසීම අප රජයේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා අප කටයුතු කරනවා. 2018 මැයි 25 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුව අදියර කිහිපයකින් රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම යටතේ පළමු අදියරේ දී 2018 අගෝස්තු මාසයේ 20වන දින අභ්‍යාසලාභී උපාධිධාරීන් 3,200 ක් බඳවා ගැනීමට අප කටයුතු කළා.

ඉන්පසුව එම වැඩපිළිවෙළේ දෙවැනි අදියර යටතේදී අභ්‍යාසලාභී උපාධිධාරීන් 16,800 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය ජූලි මාසයේ 30 සහ 31 දින දෙකෙහිදී සෑම දිස්ත්‍රීක්කයකම සිදුකිරීමට අපට හැකිවුණා.

මෙළෙස රැකියා විරහිත උපාධිධාරීන් වෙත පත්වීම් ලබා දීමේදී ඉතා සාධාරණ ක්‍රමවේදයක් අප අනුගමනය කළා. ඒ අනුව උපාධිය සම්පූර්ණ වූ වර්ෂය සැළකිල්ලට ගෙන එම පත්වීම් ලබා දුන්නා. ඒ අනුව 2016 දෙසැම්බර් 31 වැනි දිනට පෙර උපාධිය සම්පුර්ණ කරන ලද රාජ්‍ය විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර ශිෂ්‍යයන් සඳහාත් 2011 දෙසැම්බර් 31 වැනි දිනට පෙර රජයේ විශ්ව විද්‍යාලයකින් බාහිර උපාධියක් ලබාගත් උපාධිධාරීන් සඳහාත් පත්වීම් ලබාදීමට අප කටයුතු කළා.

මේවන විට රැකියා විරහිතව සිටින මුළු උපාධිධාරින් 54,825 ක් අතරින් පළමු අදියර යටතේ 3,200 ක් පමණ දෙනා වෙත රජයේ රැකියා ලබාදීමටත් දෙවැනි අදියර යටතේ 16,800 දෙනකු සඳහා රැකියා ලබා දීමටත් අපට හැකිවුනා. එසේම බාහිර උපාධිධාරීන් ලෙස 857 දෙනකු වෙතත් පත්වීම් ලබා දීමට හැකියාව ලැබුණා.

දෙවැනි අදියර යටතේදී පත්වීම් භාර නොගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුරප්පාඩු සඳහා ඉදිරියේඩදී තවදුරටත් බඳවා ගැනීම් සිදුකිරීමට අප කටයුතු කරනවා. එහිදීත් අභ්‍යන්තර මෙන්ම බාහිර උපාධිධාරීන් වෙත පත්වීම් ලබාදීම සිදු කරනවා.

(Dinamina)