Sunday, December 22, 2024
Follow Us
ඡන්ද කඩන අපේක්ෂකයන්ට වැඩ වරදී !

ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයන්ගේ ඡන්ද කැඩීම සඳහා ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් වී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එවැනි අපේක්ෂකයන්ට රාජ්‍ය මාධ්‍යවල ගුවන් කාලය ලබාදීම ඇතුළු සියලු වරප්‍රසාද අහිමි කරන බවයි දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු වෙනත් අපේක්ෂකයෙකුට සහාය දක්වන්නේ නම් හෝ වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නේ නම් හෝ අදාල අපේක්ෂකයන් පිළිබඳව ඡන්දදායකයා දැනුවත් කරන බව ද මැතිවරණ කොමිසම සියලු පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ.

ඇතැම් දේශපාලන පක්ෂ වාසි ලබා ගැනීමේ අරමුණින් සහ තවත් අපේක්ෂකයෙකුට මඩ ගැසීමේ අරමුණින් හිතාමතා වෙනත් පක්ෂවලින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව ද මැතිවරණ කොමිසම පවසයි. මෙවර එවැනි අපේක්ෂකයන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

(LNW)