Sunday, January 18, 2026
Follow Us
කොරෝනා ව්‍යාප්තිය මැද නව නීතිරීති අද ප්‍රකාශයට

රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති.

ජනතාව ඒකරාශීවන කිසිදු කටයුත්තක් සදහා අවසර ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත පැවසුවා.

රට තුළ වර්තමානයේ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරසය තරුණ ප්‍රජාවට වැඩි වශයෙන් ආසාදනය වීම ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. පවතින තත්වය හමුවේ ඉදිරි සති 4 ඉතාමත් තිරණාත්මක බවයි කොවිඩි පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කළේ.

මේ අතර ගතවූ පැය 24 දී තවත් කොරෝනා ආසාදිතයින් 657 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. මෙලෙස දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගියේ මාස 02 කට පසුවයි. මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේ අවසන් වරට දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ඊයේ දිනයේ හමුවූ නව ආසාදිතයින් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගනන 98,722 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් 93,884 දෙනෙකුම මේවනවිටත් පූර්ණ සුවය ලබා අවසන්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 4,204 දෙනෙකු පමණයි.

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ 634 ක් දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා ආසාදිත මරණ 05 ක් ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමගයි. ඒ අතරට කාන්තාවක් ද අයත්. ඔවුන් මොරටුව, මහනුවර, කොට්ටමුල්ල හා නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

(Neth)