Sunday, May 05, 2024
Follow Us
සෞඛ්‍ය අංශවලින් යළිත් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව ඉකුත් සමයේදී නිරීක්‍ෂණය වුණා. මෙවර උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වීමට හේතු වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ගවලට යොමු වීම වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සියළු දෙනාගේ වගකීමක්. දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථාන වෙත නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වනවා.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකියාව ලැබුණා.

එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙන්නේ. තමන්ට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළයුතු බවද මෙහිදී යළි සිහිපත් කෙරුණා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් යළිත් අහඹු ලෙස පී සී ආර් සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ.

(Neth)