කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්වූ සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30ක් වෙනුවෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් ලබාදීම අද (12 වැනිදා) සිට ආරම්භ කරන බව සමෘද්ධි අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 15,000කට (රුපියල් කෝටි 1500කට) අධික වේ. කෙසේ වෙතත් ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම වැඩසටහනට සහභාගි නොවන බව සමෘද්ධි හා ග්‍රාම නිලධාරීහු පවසති.
සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට මෙලෙස රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අගමැති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය සෙනසුරාදා (10 වැනිදා) නිකුත් කෙරිණි. එම චක්‍රලේඛයට අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයන් සිටින පවුල් හා අභියාචනා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලැබූ පවුල් මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබයි. දීමනාව ලබාදීමේදී ප්‍රතිලාභී පවුලකට ගෙවීම් සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණි. ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියද, අනු පවුල් වශයෙන් ජීවත් වන පවුල් සඳහාද මෙම දීමනාව ලබාදීමට නියමිතය.
මේ පිළිබඳව ‘අරුණ’ට අදහස් පළ කළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි සඳහන් කරන ලද්දේ මෙම දීමනාව ලබාදීමට අවශ්‍ය අරමුදල් ලංකා සහ මහජන බැංකු වෙතින් අද (12 වැනිදා) දිනයේ ලබාගෙන දීමනාව ලබාදීම ආරම්භ කරන බවයි. මේ අතර සමෘද්ධි ගුවන් විදුලි සේවාව සහ වට්ස්ඇප් ජාල හරහා සියලුම සමෘද්ධි නිලධාරීන් කඩිනමින් දැනුවත් කරමින් සමෘද්ධි බැංකු හා නිලධාරීන් මගින් මෙම දීමනාව ලබාදීමට සමෘද්ධි අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (11 වැනිදා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන ලද්දේ මේ තරම් විශාල පිරිසකට මෙම දීමනාව ලබාදීම සඳහා පවතින කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. එම නිසා අප්‍රේල් 12 සහ 13 දින වෙනුවට අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙම දීමනාව ලබාදීමට මැදිහත්විය හැකි බව එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. ඊට සමගාමීව මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර සඳහන් කරන ලද්දේ මීට පෙර කොවිඩ් වසංගතයකින් පීඩාවට පත් පවුල් කාණ්ඩ 10 අතුරින් 7කට පමණක් මෙවර දීමනාව ලබාදීමට පියවර ගන්නා බැවින්, එහිදී ග්‍රාම නිලධාරීන් දෝෂ දර්ශනයට ලක්විය හැකි බවයි. එවැනි අභූත චෝදනාවලට ලක්වීමට අකැමැති හෙයින් තම සංගමය මෙම වැඩසටහනට සහභාගි නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(Aruna)