Sunday, January 18, 2026
Follow Us
ආනයනික ආහාර ද්‍රව්‍යවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ගැන නීති දැඩිවෙයි

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල අඩංගු පිලිකාකාරයක් ලෙස සැලකෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධ නීිති දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතුයි. කෙසේවෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ බිලියනයකට අංශු කොටස් 10ක් දක්වා අඩු කිරීමටයි. ආනයනික පොල්තෙල්වලටද මෙම නීතිය බලපැවැත්වෙනු ඇති.

මෙවැනි තීරණයක් ගැනිමට හේතු වී ඇත්තේ මෙරට තුළ අක්මා පිළිකා ඇතුලු අක්මාව ආශ්‍රීත රෝගී තත්ත්වයන් ඉහල යාම බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. මේ වන විටත් රටතුළ ක්‍රියාත්මක වන්නේ ආහාරවල විෂ රසායනික ඇත්දැයි සොයා බැලීම සඳහා 1993 වසරේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ නීතියක්. ආහාර පනතේ ඇතැම් නීති වෙනස් වුවද විෂ රාසයනික අඩංගු ප්‍රමාණය තීරණය කෙරෙන නිර්නායකයන් වසර 28ක් ගත වූවත් මේ දක්වා වෙනස් වී නැහැ.

පවතින තත්ත්වය සලකා මෙම නීති වෙනස් කරමින් ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 10කට අඩු කිරීමට අදාල ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කථා බහක් මතුව ඇත්තේ ආනයනික පොල්තෙල්වල සම්මත ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය ඉක්මවා ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල් තෙල් සාම්පල පරික්ෂා කිරීම ආරම්භ කෙරුණා. පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී සඳහන් කළේ, ලැබී ඇති සාම්පලවල ප්‍රතිඵල අනුව පොල් තෙල් අංශු ප්‍රමාණය මිලියන 100කට ඇෆ්ලටොක්සීන් අංශු 17ක් අඩංගු සම්පල තුනක්ද, ඇෆ්ලටොක්සීන් අංශු 13ක් අඩංගු සාම්පල 13ක්ද ලැබී ඇති බවයි.

මේ අතර ඊයේ උදෑසන 06.25 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළේ ඉකුත් වසරේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ බහාලුම් අතර සියයකට ආසන්න ප්‍රමාණයක ඇෆ්ලටොක්සින් නැමති පිලිකා කාරක අඩංගු විෂ පොල්තෙල් තිබූ බවයි. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ ඒවායින් බහාලුම් ප්‍රමාණයක් දැනටමත් ප්‍රති අපනයනය කර ඇති බවයි.

(NEth)