Monday, November 17, 2025
Follow Us
වෙළදපොලේ පොල්තෙල් පරීක්‍ෂාවට පාරිභෝගික අධිකාරිය සැරසෙයි

වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සදහා වෙළදපොලේ ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වගකිවයුතු පාර්ශව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ මෙරටට ආනයනය කර ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවයි. සිය ආයතනය සිදුකළ පරීක්‍ෂාවලදී එම කරුණු අනාවරණ වූ බව ද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සදහා වෙළදපොලේ ඇති පොල්තෙල් සාම්පල පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)