Monday, November 17, 2025
Follow Us
MCC නෑ, SOFA තීරණයක් නෑ, ACSA දැනටමත් අත්සන් කරලා – නීතිපති

ශී‍්‍ර ලංකා රජය හා ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (සහස‍්‍ර අභියෝග – සංස්ථා සංයුක්ත ගිවිසුම) අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි නීතිපතිවරයා පෙරේදා (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සෝපා ගිවිසුම [හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම – Status of Forces Agreement (SOFA)] සම්බන්ධයෙන් රජය මේ දක්වා ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසීටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

ඇක්සා ගිවිසුම [අත්පත් කර ගැනීම් හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම – Acquisition and Cross Servicing Agreement (ACSA)] මේ වනවිටත් රජය විසින් අත්සන් කර ඇති බැවින් එය ඉදිරියට පවත්වාගෙන යෑම සිදුවනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

එකී ගිවිසුම් අත්සන් කළහොත් රටේ ස්වෛරීභාවයට හා ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඒවා අත්සන් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අඟුලූගල්ලේ ජිනානන්ද හිමියන්, නීතිඥ දර්ශන වේරදුවගේ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පෙත්සම් ගොනු කර තිබිණි.
(දිවයින)