Monday, December 23, 2024
Follow Us
ජනපති - අගමැති එකම පක්ෂයේ උනත් ගැටුම් ඇතිවිය හැකියි - ජයම්පති වික්‍රමරත්න

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයෙන් පත් වුවද ඔවුන් අතර ගැටුම් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභාව කල්තැබීමෙ යෝජනාවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හිමිවන බලතල අනුව එවැනි ගැටුම් ඇතිවීම වළක්වාලිය නොහැකි බවත්, අද ඇතිවී තිබෙන අර්බුදය වන්නේ මෙම ගැටුම කිසිවෙකු නොසිතූ ආකාරයෙන් වර්ධනය වීම බවත් මන්ත්‍රීවරයා පවසයි. මෙම අර්බුදයට හොඳම විසඳුම එකම පක්ෂයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පත්කර ගැනීම යැයි ඇතැමුන් ප්‍රකාශ කළද එය විසඳුමක් නොවන බව ද ජයම්පති වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වු නමුත් එය අතරමග නැවතී ඇති බවත්, එම වැඩපිළිවෙල අතරමග නතර වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මූලිකවම වගකිව යුතු බවත් ඔහු සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට අසමත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂද වගකිව යුතු බව ඔහු පවසයි.

(LNW)