පරිසරයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැඩිව සිදු කරමින් ඇතැයි පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පරිසර පද්ධති විනාශ කරන පුද්ගලයින් සොයා අඛණ්ඩ වැටලීම් තවදුරටත් සිදු කරන බවයි.
පරිසරය සම්බන්ධයෙන් වෙනදාටත් වඩා මේ වන විට දැඩි කතා බහක් මතුව තිබෙනවා. එහි ආසන්නතම සිද්ධිය ඊයේ වාර්තා වුයේ ගම්පහ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේදීයි. එහිදී පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක, ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංවේදී කලාප සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඇය එම රැස්වීමේදී කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංවේදී කලාප රැසක ජනතාව පදිංචි වී සිටින බවයි. ගම්පහ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ දේශපාලඥකයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ඇයට විරුද්ධව අදහස් දක්වන ආකාරයද එහිදී දැක ගත හැකි වුණා.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අවධාරණය කළේ සංවිධානාත්මකව පරිසර විනාශය සිදුවන බවට තොරතුරු ලැබෙමින් ඇති බවයි. ඊට එරෙහිව ආණ්ඩුව දැඩිව පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර සිංහරාජ වනාන්තරයට අයත් ඉඩමක් හෙළි පෙහෙලි කළේ යැයි කියන සිද්ධීය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යය පරිසර අධිකාරියට මේ වන විටත් උපදෙස් දී තිබෙනවා. මෙම ඉඩම පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වන බැවින් එම ඉඩම සම්බන්ධව සියලුම නිවැරදි තොරතුරු මෙන්ම මෙම ඉඩම හෙළිපෙහෙළි කිරීමට පෙර හා පසු කිසියම් පරිසර හානියක් සිදු කර ඇත්නම් ඒ පිලිබඳවද වාර්තා කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
(Neth)