බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබඳ සොයා බලා, ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාව 09 වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේයි.
ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම කමිටුව කඩිනමින් ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බවයි එහිදී මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
අදාළ කෙටුම්පත මහා නායක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර මසක් තුළ සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි තීරණය වී ඇත්තේ. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ඇදැහිලි සහ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
(Neth)