Sunday, November 16, 2025
Follow Us
ජාතික පරිසර පනත සංශෝධනයට රජයේ අවධානය

වසර 20 කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරන ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබෙනවා.

ඒ, මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ජාතික පරිසර පනත සංශෝධනය කිරීම පිළිබඳව නිලධාරින්ගෙන් කරුණු විමසා සිටියා.

දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනත යටතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් පෙන්වා දුන්නේ.

මෙරට සමස්ත පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා බලතල සහිත ශක්තිමත් වගන්ති රැසක් ඇතුළත් කිරීමට සිදුව තිබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ අනුව ජාතික පරිසර පනත සංශෝධනයේ දී ඊට ශක්තිමත්ව නෛතික බලයක් ලැබෙන පරිදි අලුත් වගන්ති 42ක් ඇතුළත් කිරීමට යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන් පරිසරයට හානි කරන පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය හැකිවන පරිදි දැනට ඇති වගන්ති සංශෝධනය කරන ලෙසත්, මේ වනවිට පරිසර පනතට ඇතුළත් නොවන එහෙත් පරිසර සුරක්ෂිතතාවය උදෙසා වැදගත් වන නව වගන්ති ද ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.


(NEth)