Friday, March 29, 2024
Follow Us
ත්‍රස්තවාදය මඩින්න ඇමරිකානු සහය අත්‍යවශ්‍යයි - අගමැති රනිල්

ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ශක්තිමත් නව ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවැනි ක්‍රමවේදයක් තුලින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලින්නුපුටා දමන බව පවසයි.

වර්තමානය වන විට ත්‍රස්තවාදය පිළිබඳව ඉහළ දැනුමක් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සතු වන බවත් විදේස් රටවල් සතු එම තාක්‍ෂණ දැනුම හා ආධාර ලබාගෙන ත්‍රස්තවාදය නැතිකර දැමීම සඳහා පියවර ගත යුතු බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි .

ඇතමුන් ඇමරිකාව ප්‍රතික්ෂේප කළත් වර්තමානයේ ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධව ඉහළ නිපුණතාවයක් ඇත්තේ ඇමරිකාවට බවත් ඒ සහය වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පසුගියදා මාතර, සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැති 97 වැනි ජාත්‍යන්තර සමූපාකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

එම උත්සවයට සහභාගීවීමට පෙර එදින වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර පේෂකාර්මිකයින්ගේ සමූපකාර සමිතියේ "මාතොට සළු” කොටුවේගොඩ ප්‍රදර්ශනාගාරය විවෘත කෙරිණි.

සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

සමූපකාරයේ ආරම්භය !

97 වන ජාත්‍යන්තර සමූපකාර දිනය අද මාතරදී උත්සවාකාරයෙන් පවත්වනවා. සමූපාකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භ වූනේ දෙවන ලෝක යුද්ධ සමයේදීයි. එදා රටේ අගහිඟකම් ඇතිව තිබුණා. යුරෝපයේ සිට මෙරටට භාණ්ඩ ගෙන ඒමට නොහැකි තත්වයක් උද්ගත වී තිබුණා. ලෝක යුද්ධ සමයේ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කරන බුරුමය වැනි රටවල් සතුරු හමුදාවන්ට යටත් වී සිටියා. එවැනි අගහිඟකම් තිබූ කාලයක අපේ රටේ ගම්මානවල ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍ය බඩු භාණ්ඩ බෙදා හැරීම සඳහා සමූපාකාර සමිති කටයුතු කළා.

මෙම සමූපකාර වැඩසටහන ආරම්භ වුණේ ඩී. එස්. සේනානායක මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි කාලයේදීයි. එතුමා රටේ සෑම ප්‍රදේශයකම සමූපාකාර සමිති ආරම්භ කළා. එදා පැවති සමූපාකාර වැඩසටහන් සඳහා ඩී. එස්. සේනානායක මැතිතුමාට අවශ්‍ය සහයෝගය දැක්වීම සඳහා සමූපාකාර පරීක්ෂකවරයෙක් සිටියා. ඔහු ඩී. බී. විජේතුංග මහතායි. සමූපාකාර පරීක්ෂක තනතුරෙන් පසුව ඒ. රත්නායක මහතාගේ ලේකම් ධූරයට පත්වූ ඩී. බී. විජේතුංග මහතා අවසානයේ රටේ ජනාධිපතිවරයා බවට ද පත්වුණා.

එසේ නම් සමූපාකාර සමිති හරහා රටට ජනාධිපතිවරයෙකු බිහි කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. තමා සමූපාකාර සමිතියෙන් ලබා ගත් අත්දැකීම් පිළිබඳව ඩී. බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේදී මා සමඟ පවසා තිබෙනවා. අතීතයේ තිබුණේ ශක්තිමත් සමූපාකාර ව්‍යාපාරයක්. එය පවත්වාගෙන ගියේ ස්වේච්ඡා පදනම මතයි. ඊට ආණ්ඩුවේ මැදිහත්වීමක් තිබුණේ නැහැ.

සමූපකාර ව්‍යාපාරයේ නැගීම සහ බැසීම !

ආණ්ඩුව සම්බන්ධ වුනේ සමූපාකාර ක්‍රමය තවත් ශක්තිමත් කිරීමට පමණයි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ සමූපාකාර තොග වෙළඳ ආයතනය ආරම්භ කළේ ඒ අනුවයි. එදා ආනයනික බඩු භාණ්ඩ වෙළදාමේ නිරත වුණේ පිටකොටුවේ වෙළෙන්දන් පමණයි. ඉන් පසුව ආනයනික වෙළදාම ඔවුන්ගෙන් ඉවත් කරමින් සමූපාකාර තොග වෙළඳ ආයතනය මාර්ගයෙන් ආනයනික භාණ්ඩ වෙළදාම ආරම්භ කළා.

එදා ටී. බී. ඉලංගරත්න ඇමතිතුමා පිලිප් ගුණවර්ධන ඇමතිතුමා යටතේ මහජන බැංකුව ආරම්භ කර එයට සමූපකාර සමිති සම්බන්ධ කළා. 60 දශකය ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ විශිෂ්ඨතම දශකයයි. නමුත් 1972 න් පසු අවාසනාවකට මෙන් සමූපකාර ව්‍යාපාරය දේශපාලනයට යටත් වුණා.

සමූපකාර ව්‍යාපාරය වෙනුවෙන් ගෙන ආ නව පනත් වලින් නියම සමූපකාර සාමාජිකයින් වෙනුවට දේශපාලන නියෝජිතයින් පත්වුණා. ඒ නිසා මේ ව්‍යාපාරය ක්‍රමයෙන් පිරිහීමට ලක් වුණා. එය තවත් දියුණු කිරීමට ඒ කාලයේදී වීරසිංහ මල්ලිමාරච්චි ඇමතිතුමා, ඇතුලත්මුදලි ඇමතිතුමා වැනි අය උත්සාහ කළා. නමුත් කාලයෙන් කාලයට විවිධ ගැටළු ඇති වුණා.

සමූපකාර ව්‍යාපාරය ගොඩදාන මග !

අද වන විට සමුපකාර සමිති 1000ට අධික ප්‍රමාණයක් තිබෙනවා. එම සමිතිවලට අපි අනාගතයක් නිර්මානය කළ යුතුයි. එසේ නම් පළමුවෙන්ම මෙම සමූපකාර සමිතිවල තිබෙන දේශපාලනය ඉවත් කළ යුතු වෙනවා. මම සෑම විටකම සිටින්නේ එම ස්ථාවරය තුලයි. සමූපකාර ව්‍යාපාරය දේශපාලනයෙන් ඉවත් කර නිසි ආකාරයට ඉදිරියට ගෙන යා යුතුයි.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, වැනි රටවල් වල ඉතා ශක්තිමත් සමූපකාර ව්‍යාපාර තිබෙවා. අපට ශ්‍රී ලංකාවේ සමූපාකාර ව්‍යාපාරය ද ඒ තත්වයට ගොඩනඟා ගැනීමට හැකියි. ඊට අවශ්‍ය වන්නේ දේශපාලනය ඉවත්කර නියම සමූපකාර ප්‍රතිපත්ති පිළිපදින සාමාජිකයින් සමග ඉදිරියට යාමට තීරණය කිරීමයි.

අද මේ උත්සවයේදී ඇමතිතුමා විසින් සමූපකාර ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළා. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව මෙම වැඩ සටහන් සිදු කිරීමට නොහැකියි. අද වන විට බලය බෙදා තිබීම නිසා මේ පිළිබඳ නිත්‍යානූකූල වගකීම මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බෙදී තිබෙනවා. නමුත් ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා නම් ඒ සියලූ දෙනා කටයුතු කළ යුත්තේ ඒ අනුවයි. එය අමාත්‍යතුමා ගත් ඉතා වැදගත් පියවරක්.

ඇමැති බුද්ධික ගැන වර්ණනාවක් !

මෙම අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ ඇමතිතුමා සමූපකාර ව්‍යාපාරය පිළිබඳව ගැඹුරු අධ්‍යායනයක් කර තිබෙනවා. ඒ වැඩකටයුතු හරහා අපට එතුමා තුල තිබෙන උනන්දුව පෙනෙනවා. සමූපකාර ප්‍රතිපත්තිය දැන් මෙහි ප්‍රකාශයට පත් කර තිබෙන නිසා අනාගතයට සමූපකාර ව්‍යාපාරය සාර්ථකව ගෙන යාමට අපි කටයුතු කරනවා.

වර්තමානයේ සමූපකාරය වෙනස්ම මුහුණුවරක් ගෙන තිබෙනවා. අද තිබෙන්නේ 1920 වසරේ තිබූ සමූපකාරය නොවෙයි. අද තිබෙන්නේ තොග වෙළදාම පමණක් නොවෙයි. සිල්ලර වෙළදාම තුල සමූපකාර ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාම පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. තාක්ෂණය හරහා අද වනවිට "ඇමසෝන්" වැනි වෙළඳ ව්‍යාපාර බිහිවී තිබෙනවා. අප දන්නා ඓතිහාසික වෙළඳ ක්‍රම වෙනස් වෙමින් තාක්ෂණය තුලින් අළුත් වෙළඳ ක්‍රමයක් ඇතිකර තිබෙනවා.

මේ ආකාරයට සමූපකාර ව්‍යාපාරය ගොඩනැගීමේදී අපට විවිධ ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවෙනවා. එහි ව්‍යුහය කුමක් ද? ඊට ඇතුලත් වන්නේ කවුද? ඊට සම්බන්ධ වන්නේ කවුද? ඒ සඳහා මුදල් ලබාගන්නේ කෙසේද? යන ප්‍රශ්න වෙත අප අවධානය යොමු කළ යුතුයි.

ඇමතිතුමා සමූපකාර වැඩකටයුතු සිදු කරන අතරම, මාතර සහ අකුරැස්ස දියුණු කිරීමට විශාල ලෙස පියවර ගනිමින් සිටිනවා. එතුමා සෑම විටකම කොළඹ හෝ මාතර සිටින බව අප දන්නවා. එසේත් නොමැතිනම් එතුමා සිටින්නේ පාර්ලිමේන්තුව තුල හෝ රූපවාහිණි වැඩ සටහනකයි. එතුමා අපට දැක ගන්නට හැකි වන්නේ එම ස්ථානවලදීයි.

රිෂාඩ් අමාත්‍යවරයා දක්ශයෙක් !

ඒ වගේම මෙම අමාත්‍යාංශයේ වැඩ කටයුතු වෙනුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විශාල සේවාවක් සිදු කළා. එතුමාට මේ අමාත්‍යාංශ හරහා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තවමත් අවශ්‍යයි. එතුමා මෙහි සෑම අංගයක් පිළිබඳව හොදින් දන්නවා. රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා හොදින් වැඩ කරන අමාත්‍යවරයෙක්. මම එසේ කියන්නේ එතුමා පිළිබඳව හොදින්ම දන්නා නිසයි. ඔහුට විරුද්ධව විවිධ චෝදනා එල්ල වන විට තමන් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි එතුමාම ඉල්ලා සිටියා. ඒ අනුව පළමු වතාවට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පොලිසිය අලූත් කාර්යාලයක් ආරම්භ කළා.

අද අපි මෙම උත්සවය පවත්වන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී මාස 3 ක් ගතවන අවස්ථාවකයි. ඒ බෝම්බ පිපිරීම හරහා රටේ ජනතාවට අලූත් අත්දැකීමක් ලැබුණා. රට තුළ මෙවැනි බෝම්බ ප්‍රහාරයක් සිදුවන්නේ කෙසේදැයි ජනතාවට විශාල බියක් ඇති වුණා. රට කඩා වැටේ යැයි ජනතාව කල්පනා කළා.

බෝම්බයක් පිපිරුණු විට ජනතාවට එවැනි බියක්, සැකයක් ඇති වෙනවා. තමන්ගේ ගමන් බිමන් යාම පවා නතර කරනවා. දරුවන් පාසල් යැවීමත් නතර කරනවා. එම නිසා ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් පියවර ගැනීමට අප තීරණය කළා.

බෝම්බ ප්‍රහාරය සිදු වූ දිනයේම දහවල් මෙම ත්‍රස්තවාදීන් සියලූ දෙනා අත්අඩංගුවට ගත යුතු යැයි අපි ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදුන්නා. අප එහිදී වැදගත් තීරණ දෙකක් ගනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය !

ඉන් පළමු වැන්න නම් මෙම සිදුවීමට සම්බන්ධ ජීවතුන් අතර සිටින සියලූ දෙනා හඳුනාගෙන පොලිස් අත්අඩංගුවට ගැනීමයි. දෙවන කාරණය වන්නේ යළිත් මෙවැනි සිද්ධියක් ඇති නොවන ආකාරයට රටේ නව ආරක්‍ෂක වැඩපිළිවෙළක් ඇති කිරීමයි. මින් පළමු වැන්න අපි දැන් සිදුකර අවසන්. මාස 2 ක් ගතවීමටත් පෙර බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලූම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා.

විදෙස් රටවල්වල සිටිමින් ඔවුන්ට සම්බන්ධ වූ වෙනත් අයත් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා. රටේ සියලූම ආරක්‍ෂක අංශ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්දන අංශය ආදී සියලූම දෙනාගේ ක්‍රියාකාරීත්වය නිසා බෝම්බ ප්‍රහාරය එල්ලවූ දින පස්වරුව වන විට පළමු ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා. අවාසනාවකට එහිදී අපේ නිර්භීත නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි වුණා.

එතැන් සිට අපේ ආරක්‍ෂක අංශ එම මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් ඉදිරියට ගියා. ඉන්පසුව කල්මුණේ, සමන්තුරේ, කාන්තන්කුඩි ප්‍රදේශවලදී තවත් කණ්ඩායම් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා. ඒ අනුව මීට සම්බන්ධ වූ අය කවුදැයි දැන ගැනීමට සියලූම දෙනාට හැකි වුණා. අදාළ සැකකරුවන් සියලූම දෙනා පොලිසියේ රැඳවුම් භාරයට ගත්තා.

දෙවනුව ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ වෙනත් සංවිධාන වල සාමාජිකයින් 200 ක් පමණ රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. බෝම්බ පුපුරවා ගත් අය සමග යම් සබඳතා පැවැත්වූ අයත්, අඩුම තරමින් ඔවුන් සමග තේ කෝප්පයක් හෝ බිව් අය, ඔවුන් සමග එකට ගමන් බිමන් ගිය අය ආදී සියල්ලන් හඳුනාගෙන ඔවුන්ගෙන් අවශ්‍ය අය රඳවා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයක් නොමැති අනෙක් අය නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි.

මේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ සියලූම පොලිස් නිලධාරීන්ට අපි ස්තූතිවන්ත විය යුතුයි. මේ බෝම්බ ප්‍රහාරය දියත් කළ කණ්ඩායම හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණා.

අන්තවාදය යළිත් ඇතිවිය හැකියි !

ඒ අප ගත් පළමු පියවරයි. මේ ත්‍රස්තවාදය පිළිබඳ කාරණාවේදී අපට ඉන් සෑහීමකට පත්විය නොහැකියි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය නැවත ඇතිවන්නට පුළුවන්. මෙය අපිට අලූත් අත්දැකීමක්. මෙතෙක් කල් අපි මුහුණ දුන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයටයි. ඔවුන් එක කණ්ඩායමක් තමන්ගේ අනුගාමිකයින් හරහා බෝම්බ ප්‍රහාර සිදු කිරීමයි ඔවුන්ගේ ක්‍රියාකාරකම වූයේ. නමුත් මෙවර ඇතිවී තිබෙන්නේ එවැනි ජාලයක් සහිත ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. මෙම පිරිස මිය ගියා හෝ අත්අඩංගුට ගත් නිසා මෙම ත්‍රස්තවාදය මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් අන්තවාදී කණ්ඩායමක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා නැවත එවැනි අන්තවාදී කණ්ඩායමක් ඇතිවීම වැළැක්වීමයි අප සිදු කළ යුත්තේ.

LTTE සහ ISIS පටලවා ගන්න එපා !

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය දෙස බලන ආකාරයට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට මුහුණ දිය නොහැකියි. මේ සම්බන්ධව අප අලූතින් සිතිය යුතුයි. 2013 දී බෝස්ටන් නගරයේ සහෝදරයින් දෙදෙනෙක් සමාජ වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස්. දර්ශනය ඉගෙන ගත්තා. වෙනත් කිසිදු පාර්ශ්වයක සම්බන්ධයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඉන්පසුව ඔවුන් බෝම්බ නිෂ්පාදනය කරන ආකාරය අන්තර්ජාලය හරහා සොයා ගනිමින් බොස්ටන් නගරය තුළම බෝම්බ කිහිපයක් පුපුරවා හැරියා. අවසානයේ පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි. සමහරුන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඍජුව සම්බන්ධයි. සමහරුන් එසේ නැහැ. නමුත් ඔවුන් එකම න්‍යාය ධර්මයක් මත පදනම් වී සිටිනවා.

එම තත්ත්වය නතර කිරීමට අප අලූත් ක්‍රමවේදයන් යෙදවිය යුතුයි. ඒ සඳහා නව නීති අවශ්‍යයි. 2001 සිට 2019 වන විට එංගලන්තයේ ත්‍රස්තවාදී නීතිය 15 වතාවක් වෙනස් වී තිබෙනවා. ඔවුන් ත්‍රස්තවාදී අර්ථ නිරූපණ, අපරාධ නීතිය ආදිය සංශෝධනය කරමින් අලූතින් නීති සකස් කරනවා. ඇමරිකාවත් ඒ ආකාරයට කිහිප වතාවක්ම නීති වෙනස් කර තිබෙනවා. අපත් ඒ ආකාරයට අපේ ත්‍රස්තවාදී මර්දන නීති වෙනස් කර ගත යුතුයි. ඇතැමුන් පවසන්නේ අපේ රටේ ත්‍රස්තවාදී මර්දන නීති ප්‍රමාණවත් බවයි. නමුත් දැනට පවතින නීති ප්‍රමාණවත් නැහැ.

ත්‍රස්තවාදය මර්දනයට ජාත්‍යන්තර සහය අවශ්‍යයි !

ඇතැම් රටවල් ගමන් කිරීමට තහනම් රටවල් ලෙස නම් කර තිබෙනවා. ඇතැම් රටවල් වෙනත් රටවල් වලට පිටත් කර හරින්නේ රාජ්‍ය ත්‍රාන්තිකයින්, තානාපතිවරුන් පමණයි. එවැනි නීති ඔවුන් සකස් කර තිබෙනවා. අප ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ත්‍රස්තවාදීන්ට ජනමාධ්‍ය හරහා හෝ අන්තර්ජාලය හරහා අනුබල දීම අපරාධයක් ලෙස ඇතැම් රටවල් නම් කර තිබෙනවා.

ඇතැම් රටවල් අධ්‍යාපනය තුලින් අන්තවාදය ඉගැන්වීම තහනම් කර තිබනවා. අන්තවාදය ඉගැන්වීම් කරන ගුරුවරු පවා වැරදිකරුවන් බවට පත් වෙනවා. බොහෝ රටවල් වල ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව, ආපනශාලා සඳහා බලපත්‍ර ලබා දෙන ආයතන ආදිය එකට වැඩකටයුතු කළ යුතුයි. තම තොරතුරු අන්තර් හුවමාරු ක්‍රමයක් යටතේ පවත්වාගෙන යා යුතු යැයි නීතියක් ගෙන තිබෙනවා. මෙවැනි නව නීති රීති බොහෝමයක් දැන් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා.

නමුත් අපේ ආයතන වෙනත් ආයතන සමග කටයුතු කිරීමට, තොරතුරු හුවමාරු කර ගැනීමට කැමැත්තක් නැහැ. එම නිසා එවැනි ආයතන එකට එකතු කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අපි කටයුතු කරනවා. මෙම තත්ත්වයන් පරීක්‍ෂා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය නීති අපි සකස් කර ගත යුතුයි.

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කරන්න ඕන !

ඉන් අනතුරුව බුද්ධි අංශයේ තොරතුරු එකතු කිරීම සහ ශක්තිමත් කිරීම තවදුරටත් සිදු කළ යුතුයි. එක් ආයතනයක් පමණක් ක්‍රියාත්මක වීමෙන් ඵලක් නැහැ. සියලූ ආයතන එකට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. ලෝකයේ සෑම රටක්ම තමන්ගේ බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කර තිබෙන්නේ ඒ ආකාරයටයි. ආරක්‍ෂක තොරතුරු දැන ගැනීම වෙනත් සංවිධාන වලට අයිති නැහැ. ඔවුන් එම කරුණු දැගන්නේ කෙසේද? යැයි ඇතැමුන් සිතනවා. එවැනි වගකීම් දැරීම පිළිබඳව අපි අලූත් නීති ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. 2 වන ලෝක යුද්ධ කාලයේ තිබූ නීති මෙන් මෙම නීති වෙනත් රටවල් වලත් සම්මත කර තිබෙනවා.

මේ වැඩකටයුතු සඳහා බුද්ධි සේවාව ප්‍රතිසංවිධානය කර එය තවත් ව්‍යාප්ත කළ යුතුයි. අද වනවිට අපරාධ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ විශාල ගණනාවක් සිදු කර තිබෙනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි ගැටළුවක් ඇති වුවහොත් එම ආයතනවලට පිරිස් බලයක් අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදී විමර්ශන කටයුතු වලදී අපට වෙනත් රටවල් සමග කටයුතු කළ යුතු වෙනවා. වෙනත් රටවල් වල දැනුම ලබාගත යුතු වෙනවා. ත්‍රස්ත විමර්ශන කටයුතු වලදී ඇමරිකාව සම්බන්ධ කර ගන්නට එපා යැයි ඇතැමුන් පවසනවා. නමුත් වර්තමානයේ ත්‍රස්තවාදය පිළිබඳ හොඳම දැනුම තිබෙන්නේ ඇමරිකාව සතුවයි.

එම දැනුම එංගලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලත් තිබෙනවා. අපට අවශ්‍ය තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර උපකරණ නොමැති නම් වෙනත් රටවල් වල, ආධාර උපාකාර ලබා ගනිමින් තොරතුරු එක්රැස් කර ගනිමින් අප මේ වැඩකටයුත්ත සිදු කළ යුතුයි. එවැනි ජාත්‍යන්තර සහයක් තොරතුරු හුවමාරුවක් අපට පාස්කු ප්‍රහාරයෙන් පසුව අවශ්‍ය වුණා. අපිට එම රටවල් සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට අවශ්‍ය වුණා.

ISIS වැඩිම හානි කළේ මුස්ලීම් ජනතාවට !

මෙවැනි නව ප්‍රතිසංවිධානයක් අපට අවශ්‍ය වෙනවා. සමාජයේ ජීවත් වන ඔබත් එය අවබෝධ කරගත යුතුයි. ඔබේ වටපිටාව තේරුම් ගෙන ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීමෙන් අපට මේ උගුලෙන් ගැලවීමට හැකියාවක් තිබෙනවා. මෙම අයි.එස්.අයි.එස්. සංවිධානය වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත් කර තිබෙන්නේත් මුස්ලිම් ජනතාවයි. තමන්ගේ න්‍යාය ධර්මයට එරෙහිවන සියළුම දෙනා සතුරන් ලෙස ඔවුන් සලකනවා. ඔවුන් අයිති වන්නේ ඉස්ලාම් ධර්මයටද නැතිනම් වෙනත් ධර්මයකට ද යන්න ඔවුන් සලකන්නේ නැහැ.

මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත්, මුස්ලිම් ආගම පිළිබඳ විශේෂඥයින් ද පැමිණ මුස්ලිම් ආගමික අධ්‍යාපනය සහ මද්‍රසා පාසල් පාලනය කිරීම පිළිබඳව අළුත් කෙටුම්පතක් අපට ඉදිරිපත් කළා. එය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන ලෙසත් ඔවුන් නිර්දේශ කළා. අප එම නීති සකස් කරමින් සිටිනවා.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී අදහස් ව්‍යාප්ත කරන වෙබ් අඩවි අප තහනම් කළයුතු වන අතර අනෙක් අතින් කිසිවිටෙකත් අන්තවාදයට තල්ලූ කිරීමත් අප නතර කළ යුතුයි. අන්තවාදය තුලින් තවත් ත්‍රස්තවාදීන් ඇති කිරීම වැලැක්විය යුතුයි. අප වෛරී ප්‍රකාශන සිදු කිරීම තහනම් කිරීමට කටයුතු කරන්නේ එම නිසායි.

අලුත් ක්‍රමෝපායන් අවශ්‍යයි !

අපට අළුත් ක්‍රමවේදයක් අවශ්‍යයි. ත්‍රස්තවාදය වලක්වා ගැනීමට හැකි වන්නේ ඒ අනුවයි. ඒ සඳහා අප සූදානම් විය යුතුයි. එය පැය 24කින් අවසන් කිරීමට බැහැ. ඊට මාස ගණනක්, අවුරුද්දක් පමණ ගත වෙනවා. විශේෂිත වූ කණ්ඩායම් දෙකකින් අපට මේ වැඩකටයුතු පිළිබඳව වාර්තා ලබා දෙනවා. ඒ පිළිබඳව සලකා බලමින් අප ත්‍රස්තවාදය මැඩලීමට කටයුතු කරනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය රට තුලින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අප තීරණය කර තිබෙනවා.

රටට සංහිදියාව අවශ්‍යයි. බුද්ධි අංශත් අවශ්‍යයි. නමුත් අපේ රටට ත්‍රස්තවාදය නම් අවශ්‍ය නැහැ. එම නිසා රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට අප කටයුතු කරන බව මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ, එම අමාත්‍යංශ ලේකම් කේ.ඩ්.එන් රංජිත් අසෝක සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(News Tube)