Sunday, November 16, 2025
Follow Us
එන්නත් කර දිවයිනට පැමිණෙන සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය

කොරෝනා මර්දන එන්නත, එන්නත් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් ඇතුළු සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා. එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් එලෙස නිදහස් කරන ලෙස ඊයේ පැවති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.

කෙසේවෙතත් එහි අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුව විසින් ගන්නා බවයි මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ. එලෙස එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් වාර්තාවක් ද සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් එන්නත ලබාගත්තද පැය 48 ක් තුළ ලබාගත් පී සී ආර් පරීක්‍ෂණ වාර්තාවක් නොමැතිව දිවයිනට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව එහිදී සිදුකරන පී සී ආර් පරීක්‍ෂණ වාර්තා නිකුත් වන තෙක් ඔවුන්ට එහි රැදී සිටීමට සිදුවනු ඇති.

බොහෝ රටවල් මේ වනවිට එන්නත් ලබාගත් සංචාරකයින්ට නිරෝධායනය කාලසීමාවකින් තොරව සිය රටවලට ඇතුළුවීමට අවසර ලබාදී තිබෙනවා. නියමිත එන්නත් මාත්‍රා දෙකම එන්නත් කර දිවයිනට පැමිණෙන සියළු දෙනා සදහා පමණක් නිරෝධායන කාලසීමාවකින් තොරව රටට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ සංචාරක ක්‍ෂේත්‍රයේ බලධාරීන් අතර තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාශයේ තාක්‍ෂණික කමිටුව විසින් ගනු ඇති.

(Neth)