Sunday, November 16, 2025
Follow Us
මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිව රාත්‍රී දිනය 2021 ආර්තු මස 11 වන දිනට යෙදී ඇත.

මහා ශිව රාත්‍රී දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නැයි ද අග්‍රාමාත්‍යතුමා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත.

එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වලදී මහා ශ්‍රිවරාත්‍රී උපවාසයේ මහිමය අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට නියමිතය.

හින්දු බැතිමතුන් මෙදින මහා ශිවරාත්‍රී දින උපවාස උත්සවය භක්තිමත් ලෙස වන්දනාමාන කරමින් ශිව දෙවි කරුණාවේ ආලෝකය සියලු තැන්හි පැතිරවීම උදෙසා නමස්කාරයේ යෙදෙයි.

මෙම හින්දු ආගමික වතාවත් මනා ලෙස පෙළගැස්වීම උදෙසා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල්වලට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මූල්‍යාධාර සපයනු ලැබේ.

(Aruna)