දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉකුත් දින කිහිපයේ අඩු වූයේ දෛනිකව සිදුකළ පී සී ආර් පරීක්‍ෂණ අඩුවීම මත පමණක්ම නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ රජය ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග ඊට ඍජුව බලපා ඇති බවයි.
ඉකුත් සතිවල දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 700 ත් 900 ත් අතර පැවතිය ද ඉකුත් 18 වනදායින් පසුව මේ දක්වා එම සංඛ්‍යාව පවතින්නේ 300 ත් 530 ත් අතරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විවිධ පාර්ශව පැවසුවේ දෛනිකව සිදුකරන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව අඩුවීම මෙම තත්ත්වයට හේතුව බවයි.
එසේත් නොමැතිව මෙම සංඛ්‍යා ලේඛණවලින් පමණක් මෙරට කොරෝනා තත්ත්වය පාලනය වී ඇතැයි පැවසිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
මෙම කරුණු දැක්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසීමක් කළා.
ඇතැම් ස්ථානවල අනවශ්‍ය ලෙස පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ තත්ත්වයන් ද වාර්තා වී ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියාසිටියේ.
මේ අතර මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලට දිගින් දිගටම දේශපාලනඥයින් ඇතුළු බාහිර පාර්ශවයන්ගෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීය සමිති ද පවසනවා.
මෙම තත්ත්වය අඛණ්ඩව පවතින්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමටයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 303 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 05 ක්.
එලෙස මියගොස් ඇත්තේ ගණේමුල්ල, කොළඹ 10, බුලත්කොහුපිටිය, මහනුවර හා පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 05 දෙනෙක්.
(Neth)