Sunday, November 16, 2025
Follow Us
අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. (01) පෙරවරුවේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටළු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කෙරිණි. පසුගිය ආණ්ඩුවේ වසර පහක කාලය තුළදී අතහැර දමා ඇති සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් නිලධාරීන් විසින් අගමැතිවරයා දැනුවත් කර තිබෙනවා. එසේ ක්‍රියාත්මක නොවී අතහැර දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අගමැතිවරයා පවසා තිබේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන්ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය. එම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම්වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන්ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගන්නා ලෙස අගමැතිවරයා පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති යූ.ඩී. හර්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්. සොයිසා මහත්වරු සහ කොළඹ මහ නගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

(LNW)