Friday, April 26, 2024
Follow Us
එයාලා අපි ළඟට එන්නැත්තං අපි එයාලා ළඟට යනවා - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගෙන් සහ කොළඹ අග රදගුරුවරයාගෙන් සාක්ෂි විමසීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් කිසිසේත් තේරීම් කාරක සභාව හමුවට නොයන බවයි.

ජනාධිපතිවරයා සහ කාදිනල්වරයා කාරක සභාව හමුවට කැඳවීම වෙනුවට, කාරක සභාව තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා සහ කාදිනල්වරයා වෙත ගොස් ඔවුන්ගෙන් සාක්ෂි විමසීමටයි. එහි සාමාජිකයන් පවසන්නේ ඔවුන් දෙදෙනා කාරක සභාව හමුවට කැඳවීම සුදුසු නොවන බව අවබෝධ කරගෙන සිටින බැවින් මෙම තීරණයට එළඹි බවයි. කෙසේ වෙතත් මීට පෙර සිදු වූයේ අවශ්‍ය පුද්ගලයන් සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවීමයි.

පසුගිය දිනවල සිදු වූ සාක්ෂි විමසීම්වලදී විවිධ පුද්ගලයන් ජනාධිපතිවරයා හා කාදිනල්වරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ බැවින් ඔවුන් දෙදෙනාගෙන් කරුණු විමසීමට කාරක සභාව තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද සාක්ෂි විමසීමට නියමිත අතර ඔහු කාරක සභාවට කැඳවන දිනය හා වේලාව සම්බන්ධයෙන් කාරක සභාව අද අවසන් තීරණයකට එළඹෙන බවයි වාර්තා වන්නේ. අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ අවශ්‍ය ඕනෑම මොහොතක කාරක සභාව හමුවේ පෙනී සිටීම තමා සූදානම් බවයි.

මේ වනවිට පුද්ගලයන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටන් කරගෙන ඇති අතර තවත් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

(LNW)