Friday, April 26, 2024
Follow Us
තෙල් මිල ස්ථායීකරණයට ගිය වසරේ පිහිටවූ අරමුදලේ දැන් සල්ලි නෑ - මුදල් රාජ්‍ය ඇමති

ඉන්ධන මිල ස්ථායීව පවත්වාගෙන යෑම සඳහා රජය විසින් පිහිටවූ‍ අරමුදලෙහි මේ වනවිට මුදල් ඉතිරිවී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

"මේ වෙලාවෙ එතන දැනට මුදලක් තියෙන්න නැහැ. මොකද අපට තෙල් මිල අඩුවෙනකොට තමයි ඒ ෆන්ඩ් එක හදාගන්න ඕනෙ. දැන් වැඩිවුණාම අපි වැඩිකෙරුවෙ නෑනෙ. දැනටම ගණන් හදද්දී මේ අවුරුද්දෙ ආනයනය සඳහා බිලියන 1ක් වැඩිකරලා තියෙන්නෙ, පුරෝකථනය කරලා තියෙන්නෙ තෙල් මිල වැඩිවීම නිසා. අපි ඒක ෆැක්චර් කරලා තියෙනවා දැනටම" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කොවිඩ් වසංගතය හමුවේ 2020 මාර්තු මාසය වනවිට ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල සීඝ්ර වශයෙන් පහළ ගිය නමුත් ශ්‍රී ලංකාවෙහි ඉන්ධන මිල අඩුකිරීමට රජය කටයුතු කළේ නැත. රජය ඒ අවස්ථාවේදී පැවසුවේ ලෝක වෙළඳපොලෙහි තෙල් මිල අඩුවීමෙන් රජයට ඉතිරි වූ මුදල් තෙල් මිල ස්ථායීකරණ අරමුදලකට යොමු කෙරෙන බවත් ඉදිරියේදී යළි ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල ඉහළ ගියත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යෑම සඳහා එම අරමුදල භාවිතා කරන බවත්ය.

(LNW)