Sunday, November 16, 2025
Follow Us
වී ගොවියා සහල් මාෆියාවට යට වුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට රජයට සිදුවනවා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අවධාරණය කළේ වී ගොවියා සහල් මාෆියාවට යට වුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බවයි.

යම් විදියකින් ආණ්ඩුව එවැනි ක්‍රියා මාර්ගයකට පෙළඹුනහොත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවීම වැලැක්විය නොහැකි බවයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව සැමවිටම පියවර ගන්නේ පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීමට බවයි.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා මීට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී , රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශයට වී අලෙවි කරමින් රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමිවන බව ප්‍රකාශ කළේය.

අමාත්‍යයවරයා මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,”මේ රටේ වී ගොවියෝ ඉන්නේ 10,41,923 ක් පමණයි. මෙම ගොවීන්ගෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් එකකට වැඩි බිමක වගා කරණ ගොවීන්ගෙන් පමණයි. එවැනි ගොවීන් සිටින්නේ 266,291 ක් පමණයි. ප්‍රතිශතයක් විදියට 27%යි. ගොවින්ගෙන් 73%කට පොහොර සහනාධාරය, රක්ෂණය සහ රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. හෙක්ටයාර් එකකට වැඩි බිමක වගා කරණ ගොවීන්ගෙන් පමණයි අපි වී කිලෝ 1000ක් ලබා දෙන්න කියා ඉල්ලා සිටින්නේ. මේ වැඩපිළිවෙලෙන් ගොවියා ඉවත් වුණොත් පොහොර සහනාධාරය අහිමිවෙයි. අපි රුපියල් 50කට සහතික මිල නියම කළ වහාම සහල් මාෆියාවට සම්බන්ධ අය රුපියල් 54ට වී මිලදී ගන්නවා. මෙම මිළට වී මිළදී ගත් විට සහල් නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වැයවෙනවා.ඒ නිසා සහල් රුපියල් 125ට විකිණිය යුතුයි කියා ආණ්ඩුවට බලකරනවා.එසේ කිරීම මගින් රුපියල් බිලියන ගණනාවක වංචාවක් සිදුකරනවා.” යැයි පවසා සිටියේය.

(Lanka Leads)