Sunday, November 16, 2025
Follow Us
සාමාන්‍ය පෙළ ප්‍රථිපල ජුනි මාසයේදී : උසස් පෙළ පංති ආරම්භය ජුලි මාසයේදී - අධ්‍යාපන ඇමති

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.

මාර්තු 01 සිට 10 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිතයි. ඊට අමතරව විභාගය අදාළව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කර ඇති බවත් පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට හැකියාව ලබාදී ඇති බවද සඳහන් කර සිටියා.

(Neth)