Sunday, November 16, 2025
Follow Us
කර්මාන්ත අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යොදා ව්‍යාජ ලෙස ගෙන්වා ගත් ටයිල් තොගය රේගු භාරයට ගන්නා ලෙස අමාත්‍යය විමල් ගෙන් උපදෙස්

ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ගැනීම පිළිබඳව දැනගත් වහාම කර්මාන්ත අමාත්‍යය විමල් වීරවංශ මහතා ඒවා රේගු භාරයට ගන්නා ලෙස උපදෙස් දුන් බව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍යය ලේකම් අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා පවසා සිටී. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යංශයේ කැදවීමට අනුව එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්‍යවරයා තදින් දෝෂාරෝපණය කළ අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය.

දේශීය ව්‍යවසායකයා රැකීමට තමන් හැකි හැම අවස්ථාවේදීම මැදිහත් වන බවත් මෙවන් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.

(Lanka Leads)