Friday, January 16, 2026
Follow Us
විවාහ උත්සව අමුත්තන් 50 කට සීමා වෙයි

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරිමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.

මිට අමතරව රාත්‍රී සමාජ ශාලා සහ උත්සව සඳහා සිමා පැනවීමට ද තීරණය කර ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරිය පසුගිය දින කිහිපය පුරාවට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබු ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බවට සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දිනයේදී නිකුත් වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.

(Neth)