Friday, April 19, 2024
Follow Us
මුහුදේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ඉදලයි : ජනපති කියයි

රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද වැලිකඩ බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.



එම සිද්ධිය සම්බන්ධව විශේෂ පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන බවයි අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැගීමේ දී ප්‍රමුඛ ඉලක්කය වන්නේ අධ්‍යාපනය බවයි. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් අද රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපන අයිතින් සුරක්ෂිත වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පසුගිය සිව් වසර තුළ විවිධ අභියෝග හමුවේ වුව ද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට විශේෂ වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළා.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයේ වැරදිකරන පුද්ගලයන් තමාට විරුද්ධ වී ඇත්තේ තමන් වැරදිවලට විරුද්ධ නිසා බවයි. හොරකම, වංචාව සහ දූෂණය මෙන්ම රටේ සහ දරුවන්ගේ අනාගතය විනාශ කරන සියලු ජාවාරම් මැඩලීමට තමන් දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව පැවසු ජනාධිපතිතුමා සිසු දරුවන් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ තමාට කොයි තරම් නින්දා අපහාස සිදු කළ ද රටේ මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට තමා තුළ ඇති කැපවීම කිසිසේත් අත් නොහරින බවයි.

(Neth)