කොළඹ අධිකරණවල රියැදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙරේදා (11 වැනිදා) රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේ ප්‍රකාශ කළේය. රියැදුරන් විසින් නැවත ලබා නොගැනීම නිසා මෙසේ රියැදුරු බලපත් ගොඩගැසී ඇත.
දඩ මුදල් ගෙවා රියැදුරු බලපත්‍රය යළි ලබා නොගෙන ඒ වෙනුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර භාවිත කිරීම හේතුවෙන් රියැදුරු බලපත් මෙසේ අධිකරණයේ ගොඩගැසී ඇත.
දැනට ලංකාවේ අතිවිශාල වශයෙන් ව්‍යාජ රියැදුරු බලපත්‍ර ඇති බව පැවැසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැබෑ රියැදුරු බලපත්‍රවලට 100% සමාන අයුරින් සකසන මෙම ව්‍යාජ රියැදුරු බලපත්‍ර හඳුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් හෝ මෙවලමක් මේවන තෙක් නොමැති වීම බරපතළ ගැටලුවක් බවද කීවේය.
විශාල වියදමක් දරා සංගෘහිත පරිපථයක් (චිප් එකක්) අන්තර්ගත කොට නව රියැදුරු බලපත්‍ර නිකුත් කළද ඉන් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොලැබීම කනගාටුවට කරුණක් බව හෙතෙම කියයි.
එබැවින් මෙවැනි ගැටලු නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර පරිගණක මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. තවද මෙම සබඳතාව ඇති කොට රියැදුරු අකුසලතා ක්‍රමය සහ දඩ මුදල් පරිගණක මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගෙවීමට හැකියාව ලැබෙන ක්‍රියාවලිය ස්ථාපිත කිරීම මේ වන විට වසර ගණනක් පමාවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට මේ වන විට මේ සඳහා ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සහ ස්ථාපිත කිරීමට ගතවන කාලය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව උපදෙස් ලබාදෙන ලදී.
එසේම රියදුරු පාසල් නියාමනය පිළිබද කාරක සභාවේ අවධානය යොමුවිය. දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රියදුරු පාසැල් 568 ක් පවතින බව මෙහිදී අනාවරණය වු අතර එම රියැදුරු පාසල්වල ප්‍රමිතිය මෙන්ම පුහුණුව පිළිබඳ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව කමිටුව අවධාරණය කළේය.
මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් කෝපා රැස්වූ අතර ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබද වූ කාර්යසාධන විගණන වාර්තාව සලකා බැලීම එහිදී සිදු විය.
(Aruna)