Saturday, November 15, 2025
Follow Us
මාර්තු මාසයේ පළමු සතිය 'සෞභාග්‍යයේ සතිය' ලෙස නම් කරයි

මාර්තු මස පළමු සතිය “සෞභාග්‍ය සතිය” ලෙස නම් කරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ යටතේ මෙවර අයවැය මඟින් යෝජිත ග්‍රාමීය මට්ටමින් කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යවසායකයින් වෙත පුහුණු හා උපදේශන වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. ලබන මස 2 වනදා සිට 8 වනදා දක්වා එය ක්‍රියාත්මක බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සදහන් කළේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි දිවයිනම ආවරණය වන ශක්තිමත්ම දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවද හිටපු අමාත්‍ය බැසිල් රාජක්‍ෂ කියාසිටියා. විරැකියාවෙන් පෙළෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට යොමුකර, ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සහයද ඇතිව කටයුතු කිරීමට නියමිතයි.
අරලියගහ මන්දිරයේ පැවති වෙළඳ නිවස සංකල්පය යටතේ කාන්තා හා තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමේ දෙවන සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

2021- අයවැය යෝජනාවේ සඳහන් පරිදි අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම රජයේ අපේක්‍ෂාවයි. මෙම වෙළඳ නිවස තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයින්ට සහන මිලට මිලදී ගැනීමේ අවස්ථාව සැලසෙන අතර ග්‍රාමීය නිෂ්පාදන එකතුකිරීමේ මධ්‍යස්ථාන ලෙසද මෙම වෙළඳ නිවස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

(Neth)