Saturday, November 15, 2025
Follow Us
රක්ෂිත කැපීම් ගැන ජනපති, ගම සමග පිළිසඳරේදීම කියයි

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට ලබාදීමට තීරණය කළ ද එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතවලට හානි වන අයුරින් පිරිසක් ක්‍රියා කරමින් සිටින බව අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩ මීමා කරගනිමින් යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. දැරණියගල දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයේදී ඊයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ස්වභාව ධර්මයේ ශක්තිය, මිනිසාගේ උන්නතිය වෙනුවෙන් යොදාගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල අයිතිය ගොවීන්ට ලබාදෙන ලෙස මීට පෙර පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් ඇතැමුන් අවභාවිත කරන බව නෙත් නිවුස් අවස්ථා කිහිපයකදී අනාවරණ කළා. අදාළ උපදෙස්වලට මුවාවී ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් දහයියාගල අලිමංකඩ ආශ්‍රිත රක්ෂිතයේ එළිපෙහෙළි කිරීම් සිදු කරන බවයි එමගින් අනාවරණ කෙරුණේ.

(Neth)