පුරප්පාඩු වී ඇති මහජන උපයෝගීතා කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු සභාවේ 06 වැනි රැස්වීම ඊයේ (03) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිළ නිවසේදී පැවැත්විණි.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සබා පනත අනුව පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කර තිබූ නාමයෝජනා සඳහා පාර්ලිමේන්තු සභාවේ බහුතර සමාජිකයන්ගේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස ජනක රත්නායක මහතා තෝරාගෙන ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස චතුරිනකා විජේසිංහ මහත්මිය, මොහාන් සමරනායක මහතා, උදේනි වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය ජනක ඒකනායක මහතා තෝරාගෙන තිබෙනවා.
2021 වසර සඳහා අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අය-වැය යෝජනාවල සඳහන් පරිදි, මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඇතුලු සාමාජිකයන් සියලු දෙනා ඉල්ලා අස් විය.
කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට එරෙහිව රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලු පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වූ අතර ඉන්පසු රජයේ ප්‍රධානීන් සඳහන් කළේ එම කොමිසම අහෝසි කිරීමට කටයුතු නොකරන බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තු සභාව වෙත නිර්දේශ කර තිබිණි.
(LNW)