Saturday, November 15, 2025
Follow Us
මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්

මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා පෞද්ගලික අංශයට මේ මොහොතේ අවසර ලබා නොදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ.

එළඹෙන මාර්තු මාසයේ පළමු සතියේ සිට සාමාන්‍ය ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ. කොවිඩ් මර්දන වැඩසටහන් සඳහා එක්වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනෙන් පසු එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ වන විට ඉන්දියාවෙන් මෙරටට ලැබුණු “ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්“ කොවිඩ් 19 මර්දන එන්නත පුද්ගලයින් 95,550 කට ලබාදී අවසන් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

(Neth)