Saturday, November 15, 2025
Follow Us
කාන්තාවන්ගේ විශ්‍රාමික වයස 60 දක්වා ඉහළ නැංවීමට අවශ්‍යය යෝජනා සහ සේවක අර්ථ සාධක අරමුදල් (ඊපීඑෆ්) පනත සංශෝධනයට අදාල යෝජනා කම්කරු අමාත්‍යයවරයාට යොමු කළා

සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව විශ්‍රාම යන වයස ඉහළ දැමීමට සමාන්තරව සේවක අර්ථ සාධක අරමුදලේ (ඊපීඑෆ්) ප්‍රතිලාභ ලබාගැනීමේ දී දැනට ක්‍රියාත්මක අණ පනත් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් එම පුවත් පතට අදහස් දක්වා ඇති භාන්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා පවසා ඇත්තේ ” අපි අපගේ සංශෝධන කම්කරු අමාත්‍යයවරයා වෙත මේ වනවිටත් යොමු කරලයි තිබෙන්නේ. කම්කරු අමාත්‍යයවරයා ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා. කම්කරු අමාත්‍යාංශය මේ වන විටත් අළුතින් පනතක් කෙටුම්පත් කරමින් සිටිනවා. එම පනත මගින් මෙතෙක් තිබෙන කම්කරු පනත් අභාවයට යාමට නියමිතයි. අපි මේ පනත සම්මත කළ පසු දැනට තිබෙන පනත් සමහරක් නිෂේධනයට ලක් වීමට නියමිතයි. උදාහරණයක් ලෙස ඊපීඑෆ් අරමුදලට අදාල දැනට තිබෙන පනත මගින් සේවකයෙකුගේ විශ්‍රාම යන වයස සහ ලැබෙන ප්‍රතිලාභ නිර්වචනය කර තිබෙනවා. ඒ නිසා කම්කරු ඇමතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ පනතක් ගෙන ඒමට නියමිතයි.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය නොහැකි වූ බව එම පුවත් පත පවසා සිටී.
කෙසේ වුවද අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා 2021 වර්ෂය සඳහා අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම ගන්වන වයස අවුරුදු 60 බවට ප්‍රකාශ කර තිබියදී පෞද්ගලික අංශයේ කාන්තා සේවකයන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 50 ලෙස තිබීම පිළිගත නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේදී සිය අයවැය දේශනය ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා,” ලංකාවේ වර්තමානයේදි ආයු අපේක්ෂාව කාන්තාවකගේ වයස අවුරුදු 76.6 ක් ලෙසත් පුරුෂයෙකුගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 72 ලෙසත් වාර්තාවෙනවා. එම නිසා මෙම ආයු අපේක්ෂා දත්ත මත පදනම් වී සේවක අර්ථ සාධක අරමුදල් පනතේ දැක්වෙන විශ්‍රාමික වයස පුරුෂ පක්ෂයට සහ ස්ත්‍රී පක්ෂයට අවුරුදු 60 බවට පත්කිරීමට අවශ්‍යය සංශෝධන සිදු කළ යුතු බවට අවධානය යොමු කරනවා. සේවක අර්ථ සාධක අරමුදල පිහිටුවන කාලය වන විට ලංකාවේ ජීවත්වූ ස්ත්‍රියකගේ ආයු අපේක්ෂාව අවුරුදු 57.5ක් වැනි අගයකත් පුරුෂයෙකුගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 58.8 වැනි අගයකත් තිබීම සලකා බලමිනුයි මෙම පනතේ ප්‍රතිපාදන සකස් කර තිබෙන්නේ.” යනුවෙන් පැවසුවේය.

(Lanka Leads)