කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරණු ඇති බවයි.
නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ඒ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මතුව ඇති කතාබහ හේතුවෙන්. මෙම තත්ත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත් කළා. එම කමිටු විසින් සකස් කළ විශේෂ වාර්තා විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමෙන් අනතුරුව ඔහු ඒවා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතයි. ගැටලුව ඉතා සුභවාදීව විසදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේවෙතත් වෘත්තීය සමිතිතමන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවමත් අත්හැර නැහැ. ඔවුන් අවධාරණය කරන්නේ ගැටලුවට නිසි විසදුමක් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි. නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවම පවත්වා ගනිමින් සංවර්ධනය කළ යුතු බවටයි වෘත්තීය සමිති දිගින් දිගටම අවධාරණය කළේ.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දිමක් හෝ සිදු නොකරන බවයි. කැබිනට් මණ්ඩලයේ සියයට 99ක්ම එවැනි තීරණයකට විරුද්ධ බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.
මේ අතරතුර නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින් ලෙස සම්බන්දධ කර ගැනීමට අපේක්ෂිත බව පැවසෙන ඉන්දියාවේ අදානි සමාගමට එරෙහිව ඉන්දියාවේ පවා මේ වන විට විරෝධතා මතුව තිබෙනවා. නෙත් නිවුස් ඊයේ උදෑසන 06යි 25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණය කළේ සිය කෘෂිකාර්මික අයිතිය බහු ජාතික සමාගම් විසින් සූරා කෑමට ඉඩ සලස්වන නව නීතිවලට එරෙහිව ඉන්දීය ගොවීන් ලක්ෂ සංඛ්‍යාවක් මෙම අරගලයට එක්ව සිටින බවයි.
(Neth)