Wednesday, January 20, 2021
Follow Us
නිරෝධායන කි‍්‍රයාවලියේදී හෝටල්වල අයථා කටයුතුවලට කිසිදු ඉඩක් නැහැ - යුද හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එවැනි පුද්ගලයින්ට අල්ලස්දීමෙන් වලකින ලෙසටයි යුද හමුදාපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී ඇත්තේ. නිරෝධායන ක‍්‍රියාවලිය ඉතා ඉහළ ප‍්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් ගොඩනගා ගෙන ඇති ප‍්‍රතිරූපයට හානි කිරිමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ.

මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අදහස් පළ කර ඇත්තේ කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

(Neth)