Wednesday, January 20, 2021
Follow Us
කොවිඩ් එන්නත ලබාදීමේ දි වැඩ බිම්වල කම්කරුවන්ටත් ප්‍රමුඛතාව දෙන්න - කම්කරු ඇමතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් මර්දනය සදහා මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ දී වැඩකරන පන්තියේ ජනතාවටද ප්‍රමුඛත්වයක් ලබා දීම සුදුසු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ නිර්ණායකයන් සැලකිල්ලට ගෙන ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම සිදුකරන විට රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමට විශාල දායකත්වයක් සපයන කම්කරු ජනතාවටද ප්‍රමුඛතාව හිමි විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත පිහිටා වැඩබිම් හා කර්මාන්ත ශාලාවලට ද එන්නත ලබා දෙන ලෙස අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ මහත්මියව අද (13) කම්කරු අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ය.

කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සභාවට පත්කර ඇති එකම ශ්‍රී ලාංකික නියෝජිතයා වන වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක් තිබේ.

කොවිඩ් වසංගතයෙන් රටේ වැඩකරන ජනතාව බේරා ගනිමින්,වැඩබිම් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව පවත්වා ගෙන යන වැඩපිළිවෙළට සිය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ මහත්මිය පවසා ඇත.

මෙම කෝවිඩ් මර්දන එන්නත ලබාදීම රජය මගින් දැනට මනා ලෙස ස්ථාපිත කර ඇති මෙරට සෞඛ්‍ය සේවා ජාලය ඔස්සේ සිදු කිරීම ඉතාමත් උචිත බවද ඇය පෙන්වාදී තිබේ.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, කෝවිඩ් වසංගතය වැඩබිම්වල පැතිරයාම වැළැක්වීම සඳහා සහ කෝවිඩ් ආසාදනයට ලක් වන වැඩකරන ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට මේ වන විටත් සෑම වැඩබිමක සෞඛ්‍ය කමිටු පිහිටුවීම අනිවාර්ය හා අත්‍යවශ්‍ය කාරණයක් බවට රෙගුලාසි පනවා ඇති බවයි.

එම රෙගුලාසි ප්‍රකාරව අදාළ ක්‍රියාකාරකම් වැඩබිම් තුළ ක්‍රියාත්මක වන්නේ ද යන්න පසු විපරම් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරු නිලධාරීන් කටයුතු කළ යුතු බවට ද උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් එන්නත බෙදා දීමේ දී විශේෂයෙන්ම ආදායම් අඩු ජන කොටස් සඳහා එය නොමිලේ ලබා දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණය අගය කරන බවත් එසේම වැඩ කරන ජනතාවට මෙම එන්නත ලබාදීම සඳහා ගෙන යන ක්‍රියා මාර්ගයන් හි දී කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තිය සමිති යන සියලු අංශ පූර්ණ සහයෝගය ලබාදීම සඳහා සහතික වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

(LNW)