Sunday, July 06, 2025
Follow Us
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සඳහා වූ තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීමේ  වැඩමුළුව

තිරසර සංවර්ධන සභාව විසින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය උදෙසා තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීමේ වැඩමුළුවක්, 2021 ජනවාරි මස දොළොස් වන දින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත ප්‍රකාරව, අමාත්‍යංශවලට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට තිරසර සංවර්ධනයට අදාළ මාර්ගෝපදේශ ලබා දීමට තිරසර සංවර්ධන සභාව බැඳී සිටියි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ 02 ක් සහ ඉලක්ක 07 ක් ඍජුව අදාළ වේ. රජයේ තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අමාත්‍යංශයේ වගකීම් තිරසර වන කළමනාකරණය, කාන්තාරකරණයට එරෙහිව ක්‍රියා කිරීම, ජෛව විවිධත්වයද ඇතුළත්ව කඳුකර පද්ධති සංරක්ෂණය සහතික කිරීම සහ සංරක්ෂිත ශාක හා සත්ත්ව විශේෂ දඩයම හා ජාවාරම් කිරීම වැලැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම තෙක් විහිදේ. එම අභිමතාර්ථ සහ ඉලක්ක අමාත්‍යංශයේ වැඩ සැලැස්මට ඇතුළත් කිරීම පිලිබඳව මෙම වැඩමුළුවේදී සාකච්ඡා කෙරිණි.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය නියෝජනය කරමින්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු සී. බී. රත්නායක මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම් (පාලන) පී. එච්. ආනන්ද මහතා සහ අමාත්‍යංශයේ අදාළ නිලධාරීන් සහභාගී වූ අතර, තිරසර සංවර්ධන සභාවෙහි අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, සහකාර අධ්‍යක්ෂ නදීකා අමරසිංහ මෙනෙවිය සහ සහකාර අධ්‍යක්ෂ ෂෙරෝන් හේවාවඩුගේ මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙය වන ලදී.

WhatsApp Image 2021 01 12 at 14.35.17

WhatsApp Image 2021 01 12 at 14.37.10