Saturday, April 27, 2024
Follow Us
කොවිඩ් එන්නත කාණ්ඩ පහක් යටතේ ලබා දීමට සැලසුම්

ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා එන්නත්කරණය ජාතික සැලැස්ම සකස් කර අවසන් බව කොවිඩ් 19 එන්නත් ලබා ගැනීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

එම ජාතික සැලැස්ම සදුදා (11 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම සැලැස්ම යටතේ පළමු අදියරේදී කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරියෙන්ම කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් එක් ලක්ෂ පනස් පන්දහසකට එන්නත් ලබා දීමට සැලසුම් කර තිබේ.

දෙවනුව ත්‍රිවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන්ටද තුන් වෙනුව වයස අවුරුදු හැටට වැඩි ජනතාවටද එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය. ජාතික සැලැස්ම යටතේ එන්නත ලබා දෙන මෙම කාණ්ඩ තුනේ නම් නාම මාත්‍රිකව ඉදිරිපත් කරන අතර එය ඡන්ද හිමි නාමලේඛන සහ ජාතික හැඳුනුම්පත් අංක ප්‍රයෝජනයට ගෙන සකස් කර ඇත. තවද දිවයින පුරා පිහිටි සෞඛ්‍ය ආයතන 1050න් ආයතන 900ක පමණ එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. පෙබරවාරි හෝ මාර්තු මාසය වන විට එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

රටේ ශ්‍රම බළකාය වන හතළිස් අට ලක්ෂ හතළිස් තුන් දහස් පන්සිය හැට දෙකකට එන්නත් ලබා දීම අවසන් අදියරේ සිදු කෙරේ. ඊට අයත් වන්නේ වයස අවුරුදු 30ත් 45ත් වයස් කාණ්ඩයය. මෙම පිරිසෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ට එන්නත ලබා දීමට පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ඇමරිකන් ඩොලර් මිලියන පනහක මුදලක් වැය කිරීමට සූදානම් බව දැනුම් දී ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග අනාවරණය කළේය.

(Aruna)