Sunday, May 19, 2024
Follow Us
සුනාමියෙන් විපතට පත් ජනතාවගේ නොවිසුදුණු ගැටළු කඩිනමින් විසඳන බව රජය කියයි

සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටළු කඩිනමින් විසඳීමට රජය මැදිහත් වන බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. සුනාමි ඛේදවාචකයෙන් මියගිය දහසකගේ පමණ සිරුරු මිහිදන් කර ඇති ගාල්ල අක්මීමන කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පැවති සැමරුම් වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කෙරෙන ජාතික සුරක්‍ෂිතතා දිනය වන අද දිනයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සර්වාගමික වතාවත් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වුණා. උදෑසන 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 ක නිහඬතාවක් සුරකිමින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව මීට වසර 16 කට පෙර මියගිය සිය සමීපතමයින් සිහිපත් කළා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුනාමි ව්‍යසනයෙන් මියගිය ශී‍්‍ර ලාංකිකයන් සිහිපත් කිරීමේ සැමරුම් සඳහා එක්වුණා. ඒ, අග‍්‍රාමාත්‍ය නිල නිවසේදීයි. සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු මිනිත්තු දෙකක නිහඬතාවයට එක්වූ අග‍්‍රාමාත්‍යවරයා අනතුරුව පහන් දල්වමින් මියගිය සියලූදෙනා සිහිපත් කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ.

(Neth)