Monday, May 06, 2024
Follow Us
නව පාසැල් වාරය ජනවාරි 11 ඇරඹේ : සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කරන ලෙසට දැනුම් දෙයි

නව පාසල් වාරය ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ඇරඹෙන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ.

2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අද දින අවසන් වන අතර, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු අතර ඊට අදාළ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම්, 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා මෙන් ද පළාත් බලධාරීන් හා විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්ධ ව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් චක්‍රලේඛය හා පාසල් ක්‍රියාකාරකම් ඇතුළත් දින දර්ශනය ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

(Neth)