Tuesday, May 07, 2024
Follow Us
රටේ නඩු ලක්ෂ 07 කට වැඩිය තිබුනත් විනිසුරුවරුන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 15 දෙනෙකු පමණයි - අධිකරණ ඇමති කියයි

මෙරට අධිකරණවල නඩු ලක්ෂ හත හමාරක් පවතින බවත් එම නඩු විභාග කිරීම සඳහා විනිශ්චකාරවරුන් සිටින්නේ මෙරට ජනගහණයෙන් මිලියනයකට 15 දෙනෙක් පමණක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර සිටිනවා. ලොව දියුණු රටවල් වල පුද්ගල ජනගහණයෙන් මිලියනකට විනිශ්චකාරවරුන් 200ක් පමණ සිටින බවයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අද (23) දින ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදි වෙමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතරු දෙමින් ඇමතිවරයා මෙම අදහස් පළකර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි,

මැදි ආදායම් රටවල් වල විශේෂයෙම මැලේසියාව වගේ රටවල්වල ජනගහණයෙන් මිළියනයකට අධිකරණ විනිසුරුවරුන් 70-75ක් පමණ පිරිසක් සිටිනවා. ඒ හින්දා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ විනිසුරුවරුන් සහ අධිකරණ ප්‍රමාණය දෙගුණයක් කරන්න ඕන කියලා. එය අපේ පළමු අදියරයි. නමුත් එසේ සිදුකලත් මෙරට ජනගහණයෙන් මිලියනයකට සිටින විනිසුරුවරුන් ප්‍රමාණය 30 දෙනෙකු පමණයි වෙන්නේ. එම ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නැහැ..

දෙවන අදියර වශයෙන් තාක්ෂණය උපයෝගී කරගෙන අපි මේක ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනකට යනවා. නීතිය විශාල වශයෙන් සංශෝධනය කළා. යල්පැනගිය නීති වෙනස් කරලා අලුත් නීති ගේන්න අපි උත්සහ කරනවා. මේ වන විටත් පසුගිය මාස තුන තුළ නීති 38ක් අප විසින් සංශෝධනය කරලා තියෙනවා. අලුත් නීති 30ක් විතර සංශෝධණයට අදාල කටයුතු කරගෙන යනවා.

වෙනම නීතිඥ සංගමය සහ නීතිඥ ප්‍රජාව සමග එකතු වෙලා අපි මේ වෙනකොට උප කමිටු තුනක් පත් කරලා තිබෙනවා. අපරාධ නීති සංශෝධනය සඳහා කමිටුවක්, වාණිජ නීති සංශෝධනය සඳහා කමිටුවක් මෙන්ම සිවිල් නීති ප්‍රතිශෝධනය සඳහා කමිටුවක් ආදී වශයෙන් කමිටු තුනක් පත් කර තියෙනවා.

ඉලක්කගත වැඩ පිළිවෙලක අපි නියැළිලා ඉන්නවා. හැබැයි එහි ප්‍රතිඵල දවසින් දෙකෙන් ලැබෙන්නේ නැහැ. මේ සියල්ල එකතු කරගෙන යම් කිසි තැනකට ගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ . මම හිතනවා අපි රජයක් හැටියට ලොකු අභියෝගයක් හැටියට මෙය බාර අරගෙන තියෙනවා. අපි මේකට ක්‍රමක් ක්‍රමයෙන් විසඳුම් දීමට බලාපොරොත්තු වෙනවා" යැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

(Neth)