Monday, December 23, 2024
Follow Us
මුස්ලිම් විවාහ නීති සංශෝධනයට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟ වෙයි

මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව අදාල සංශෝධන සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත යටතේ වගන්ති 8 ක් සංශෝධනය වන බවයි වර්තා වන්නේ.

වත්මන් නීතිය යටතේ වැඩිවියට පත් ඕනෑම මුස්ලිම් ස්ත්‍රියක් විවාහ කර දීම සඳහා ඇයගේ දෙමාපියන්ට නීතියෙන් අවසර හිමි වන අතර එසේම මුස්ලිම් තරුණියන්ගේ විවාහ සිදු කිරීමේදී ඇයගේ අභිමතය අත්‍යවශ්‍ය කරුණක් නොවේ. වර්තමානයේදී දැඩි කතාබහට ලක්ව ඇත්තේ මෙම කරුණු දෙකයි.

රටේ පවතින සාමාන්‍ය නීතිය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ කාන්තාවන් විවාහ කළ නොහැකි අතර කාන්තාවගේ අභිමතය නොමැතිව විවාහ සිදු කිරීම ද නීතියෙන් තහනම්ය.

ඒ අනුව ඉදිරියේදී සංශෝධනය වන නීති හරහා වයස අවුරුදු 18 සීමාව මුස්ලිම් කාන්තාවන්ට ද බලාත්මක වන අතර විවාහය සඳහා විවාහ වන කාන්තාවගේ අභිමතය අනිවාර්ය කිරීම ද බලාත්මක වනු ඇත. ඒ අනුව විවාහ සහතිකයේ අදාල කාන්තාවගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසන්නේ මෙම ප්‍රධාන කරුණු දෙක ඇතුළත්ව කරුණු 8 ක් සංශෝධනය කිරීමට නියමිත බවයි. ඒ අනුව ඊට අදාල සංශෝධන අධිකරණ අමාත්‍යවරිය වෙත යොමු කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. ඉන්පසු අධිකරණ අමාත්‍යංශය හරහා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතය.

(LNW)