Monday, September 15, 2025
Follow Us
ගෝඨාභයගේ ප්‍රතිපත්තියට ඡන්ද විමසීම 21 වැනිදා

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (20 වැනිදා) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනිද්දා (21 වැනිදා) ඡන්දය ගැනීමට නියමිතය.

ඒ අනුව මෙය නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.

නව පාර්ලිමේන්තු​ෙව් කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රිවරුන්ගේ ප්‍රතිඥාව ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට (20 වැනිදා) පෙරවරු 9.30 ට රැස්වේ.

එම කාර්යයන් අවසන්වූ පසු පාර්ලිමේන්තුව එදිනම පස්වරු 3.00 දක්වා අත්හිටුවනු ඇත. අත්හිටවූ පාර්ලිමේන්තුව යළි උත්සවාකාරයෙන් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00ට රැස්වේ.

ජනාධිපතිවරයා මෙහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව පසුදා, එනම් 21 වැනි සිකුරාදා දිනයේ රැස්වීමට තීරණය කළ බව මහ ලේකම්වරයා පැවැසුවේය.

(Lanka LEads)