Saturday, January 31, 2026
Follow Us
දිට්වා නිසා කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑමට වන්දි ලබාදීම කඩිනම් කිරීමට උපදෙස්

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සහ පරිසරයට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා(22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ ඒ අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ගෙන් දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් දත්ත ඇතුළත් වාර්තාවක් සකස් කොට ඇත්දැයි විමසීය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ සිදු වී ඇති හානිය ගණනය කරමින් වාර්තා සකස් කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කෙටියෙන් කාරක සභාව දැනුවත් කිරීමද සිදු විය. එසේම ඒ ඒ අමාත්‍යාංශයට ඇතුළත් දෙපාර්තමේන්තු සහ සංස්ථා නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තම ආයතන සතු දත්ත කාරක සභාවට ඉදිරිපත් කිරීම සිදු කළේය.

දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා විසින් එ් ඒ හානි සම්බන්ධයෙන් ලබාදෙන වන්දි සහ එම වන්දි ගණනය කිරීම සම්බන්ධයෙන් විමසන ලදි. මෙහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේන් අනතුරුව වන්දි ගෙවීම සිදු කරන බවයි. මේ නිසා එම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ වන්දි ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බවයි. එසේම වන්දි ලබාදීම කඩිනම් කරන ලෙසද කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි. එසේම ඒ ඒ අමාත්‍යාංශය විසින් දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සකස් කළ වාර්තා කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කළේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා, රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.