Monday, December 08, 2025
Follow Us
නුවරඑළිය ජනතාව භාවිතා කරන වතු ආශ්‍රිත මාර්ග රජයට පවරාගෙන සංවර්ධනය කරන්න – ජනපති

විපතට පත් ජනතාව මුදා ගැනීම, සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලු පාර්ශ්වවල කැපවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,780කට අයත් පුද්ගලයෝ 63,121ක් පීඩාවට පත්ව සිටිති. ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම, දිස්ත්‍රික්කයේ විදුලි සහ ජල සැපයුම, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසීය.

එළවළු සහ අර්තාපල් වගාවට සිදුව ඇති හානිය සහ යළි වගා ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එළවළු අස්වැන්නෙහි අඩුවීම 25%ක් පමණක් බව පෙන්වා දුන් නිලධාරීන් කියා සිටියේ දෛනික එළවළු සැපයීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදු කළ හැකි වුවත්, මේ වන විට දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නීරීක්ෂණය වන බවයි.

එයට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟයක් පවතින බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එළවළු වගාවට සිදු වූ හානිය, බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය, ඔවුන්ට අයත් භූමි ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළවළු වගාව කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවීන්ට වන්දි ලබා දීමේ සහ බීජ සැපයීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද උපදෙස් දුන්නේය.

බීජ මිල ඉහළ යාම හේතුවෙන් අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, ජනතාවගේ ගමනාගමන පහසුකම් සපුරාලීම වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, වතු ආශ්‍රිත මාර්ග 611ක්, පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා යන කිසිදු ආයතනයකට අයත් නොවීම හේතුවෙන් ප්‍රතිසංස්කරණයට ලක් වි නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, වතු සමාගම්වලට අයත්, නමුත් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිතා කරන, ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වන සියලු මාර්ග රජයට පවරාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මහ කන්නයේ කුඹුරු වගා කළ හැකි අන්දමින් වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා කොත්මලේ ජලාශය සම්බන්ධව මතු වූ තත්ත්වය පිළිබඳවද නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

එමෙන්ම, ආගරපතන පාලම කැඩී යාම හේතුවෙන් ජනතාවට අමතර කි.මි 8ක පමණ දුරක් ගමන් කිරීමට සිදුව තිබෙන බව මෙහීදී සඳහන් කෙරුණු අතර එම පාලම කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කඳුකරය ඔස්සේ දිවෙන මාර්ග විශාල ලෙස හානියට පත්ව ඇති බැවින් එම මාර්ග පිළිසකර කර සංවර්ධනය වෙනුවෙන් කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම, ග්‍රෙගරි වැව සොරොව්වේ තාක්ෂණික මෙහෙයුම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතට පැවරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

විදුලි සහ ජල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මතුව ඇති කාර්යමණ්ඩල අවශ්‍යතාව තාවකාලිකව සපුරා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ පාසල් 551න් 490ක් දෙසැම්බර් 16 වන දා වන විට, යළි ආරම්භ කිරිමේ හැකියාව තිබෙන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර, එදිනට හැකි තරම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල්වල දරුවන් ආසන්න පාසලකට යොමු කිරීමටත් සහ එහිදී ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමටත් උපදෙස් දුන්නේය.

එමෙන්ම, රෝහල්වල ක්‍රියාකාරිත්වය ඇතුළු සෞඛ්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමු විය. වෛද්‍ය නිල නිවාස සහ නේවාසිකාගාර විනාශ වීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම පහසුකම් ලබා දීම සඳහා සුදුසු වෙනත් ගොඩනැගිල්ලක් හඳුනාගෙන දැනුම් දෙන ලෙසත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර එය නිදහස් කර දිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, පසුගිය වසර 05 තුළ විශ්‍රාම ගිය නිලධාරීන් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටත්, ඒ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නිවාස අහිමි වූ ජනතාවට වන්දි ලබා දීම සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරු සහ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ආර්.ජී. විජේරත්න, කේ. කලෛයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න, වී. රාධක්‍රිෂ්නන්, පලනි දිගම්බරන්, ජීවන් තොණ්ඩමන් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ අදාළ සේවා සපයන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.