Wednesday, August 13, 2025
Follow Us
ප්‍රමුඛ පෙලේ වියට්නාම ආයෝජකයෙකු බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි
වියට්නාමයේ ප්රමුඛ පෙලේ සමාගමක් වන ROX සමාගම් සමූහයේ සභාපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් මෙරට විදුලිබල ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම පිණිස අද (12) පෙරවරුවේ බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්යංශයේ දී හමු විය.

පසුගියදා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ වියට්නාම සංචාරයේ දී ඇතිකර ගත් එකඟතා සහ සබඳතා මත මෙරටට පැමිණි ඉහත සමාගමේ නිලධාරීන් රටේ විවිධ ක්ෂේත්රවල ආයෝජනය කිරීමට අදහස් කරන බව ද, ඒ අතරින් විදුලිබල ක්ෂේත්රය ප්රමුඛ බවද ප්රකාශ කළහ.

 
විශේෂයෙන් සූර්ය හා සුළං බල ක්ෂේත්රයේ ආයෝජන හැකියාවන් සහ අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරමින්, මෙරට උතුරු නැගෙනහිර කලාපයේ ඉහළ ධාරිතාවයෙන් යුතු සුළං හා සූර්ය බලාගාර පිහිටුවීම පිළිබඳව සොයා බැලීම පිණිස එම දූත පිරිස හෙට පෙරවරුවේ ඉහත ප්රදේශවල නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ද නියමිතය.
 
ROX සමාගම් සමූහය බ්රිතාන්ය ඇතුළු යුරෝපීය රටවල සහ මොංගෝලියාව, කිර්කිස්ථානය වැනි මධ්යම ආසියානු රටවල ඔවුන්ගේ බලශක්ති ක්ෂේත්රයේ විවිධ ව්යාපෘති හා ඒ සම්බන්ධ අත්දැකීම් අමාත්යවරයා සමග හුවමාරු කර ගත් අතර, අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අදහස් දක්වමින් කලාපයේ ස්ථාවරම, ශක්තිමත්ම ජනතා සහයෝගයක් ඇති රටක රජයක් ලෙස විදුලිබල ක්ෂේත්රයේ දියුණුවට අදාළ ක්රියාකාරකම් වේගවත් කර ඇති බවත්, විදේශ ආයෝජකයන්ට ඉතාම ධනාත්මක වාතාවරණයක් මෙරට තුළ ඇති බවද සඳහන් කළේය.
 
මෙම අවස්ථාව සඳහා ROX සමාගම් සමූහයේ සභාපති Le Anh Due මහතා, ඇතුළු ROX සමූහයේ ජ්යෙෂ්ඨ විධායක නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.