Wednesday, March 19, 2025
Follow Us
"අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු" යෝජනාවලිය අගමැතිනියට පිළිගන්වයි

රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය විසින් "අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු" යන තේමාවෙන්  සම්පාදනය කරන ලද ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කළේය.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවාව සැපයීම, නව ආකල්ප  සංවර්ධනය කිරීම, පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂ අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම්  මෙම යෝජනාවලියට ඇතුලත් කර තිබේ.

රටතුල නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා නිර්මාණය කළ "නව නෙත්" ෆේස් බුක් පිටුව විවෘත කිරීමද මෙහිදී අගමැතිතුමිය විසින් සිදු කළාය.

රජය විසින් රට තුළ සිදුකිරීමට යන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීයවේදීන් ඇතුළු සමස්ත  ජනතාවගේ සහය අවශ්‍ය බවත්, එ වෙනුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය ගන්නා මෙම උත්සාහය අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළාය.

මෙමඅවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමයේ ලේකම්  ලාල්කාන්ත, කැදවුම්කරු පාලිත උදයකාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.