මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.
ලේකම්වරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පොතුවිල් මූලික රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණයකින් අනතුරුව අදහස් දක්වමින්ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ වැඩපිළිවෙළක් ලෙස සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කොට විදේශ විනිමය මෙරටට ගෙන ඒම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වේ. එහි පළමු පියවර යටතේ සංචාරක කලාපයන්හි පිහිටි රජයේ බටහිර වෛද්‍ය සහ ආයුර්වේද රෝහල් වල ගෙවීම් සේවා ස්ථාපිත කිරීමට රජය සැළසුම් කර ඇත.
ඒ් අනූව මේ වන විට පොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන ඇති අතර එහි සංවර්ධන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබද සහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබද අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම්වරයා මෙම නිරීක්ෂණය සිදු කරන ලදී.
සර්ෆින් ක්‍රීඩාව සදහා භාවිතා කරන ලොව හොදම වෙරළ තීරයන් දහය අතරට එක්ව තිබෙන අරුගම්බේ මුහුදු තීරය හා එම සංචාරක කලාපයට ආසන්නයේ ස්ථාපිත කර ඇති පොතුවිල් මූලික රෝහල පළමුව සංවර්ධනය කොට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම සංකලනයෙන් යුතු ගෙවීමේ වෛද්‍ය සේවා ස්ථාපිත කරන බව ලේකම්වරයා මෙහිදී පැවසී ය.
මෙම ගෙවීමේ වෛද්‍ය සේවා ස්ථාපිත කරන රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගන්නා විදේශීය සංචාරකයින් තම සේවාවන් ලබා ගත් පසු ඊට අදාළ ගෙවීම් මාර්ග ගත ක්‍රමයට (On line) සිදු කල යුතු අතර එම මුදල් ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදළට බැරවන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, එම අරමුදළට බැරවෙන මුදල් නැවතත් වක්‍රාකාරයෙන් අදාළ රෝහලේ සංවර්ධනය සදහාම යෙදවීමට කටයුතු කරන බව ද අනිල් ජාසංහ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
තව දුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පසුගිය කාළය තුළ නැගෙනහිර පළාත තුළ පිහිටි රෝහල් ශ්‍රේණිගත කිරීමේදී නිසි ක්‍රමවේදයෙන් බැහැරව එම ක්‍රියාවලිය සිදුව ඇති බව නිරීක්ෂණය වන බවත්, නාම පුවරුවට පමණක් රෝහල ශ්‍රේණි උසස් විමක් ලැබුවත් ඊට අවශ්‍ය මානව හා භෞතික සම්පත් නොලැබීමෙන් ප්‍රදේශයේ ජනතාවට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බව ද පැවසී ය.
රෝහලේ අවශ්‍යතාවයට සීමා නොවී ඉන් ඔබ්බට ආරම්භ කරන ලද මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රෝහල් පරිශ්‍රයන් කිහිපයකින්ම තමන් පසුගිය කාලය තුළ කරන ලද රෝහල් නිරීක්ෂණයන් වලදී තමන්ට නිරීක්ණය වූ බව ද සිහිපත් කල ලේකම්වරයා එම ව්‍යාපෘති වර්ථමානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට බරක් වී තිබෙන බව ද පැවසී ය.
රෝහල් අවශ්‍යතාවයට සරිළන උපරිම සේවාවක් ජනාවට ලැබෙන ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ අරමුණ බවත්, ජනතා බදු මුදලින් ලබා ගන්නා මුදල් පෙරලා ජනතාවට ලබා දීමේදී එම මුදල් වලට උපරිම සාධාරණයක් සිදුකල යුතු බව ද තමන් එයට උපරිම සාධාරණයක් කරන බව ද ලේකම්වරයා අවධාරණය කර සිටියේ ය.
මෙම නිරීක්ෂණයේදී ලේකම්වරයා පොතුවිල් මූලික රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, රෝහලේ ස්ථාපිත සියලුම වාට්ටු , මුලුතැන්ගෙය, රුධිර කාන්දු පෙරණ ඒ්කකය, භෞත චිකිත්සක අංශය, වෛද්‍ය උපදේශන අංශය ඇතුළු රෝහලේ සියලු අංශ විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් පවතින ගැටලු වලට විසදුම් ලබා දීමට ද පියවර ගත්‌තේය.
එමෙන්ම චීන රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 500 කට අධික මුදලක් වැය කර රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින තෙමහල් වාට්ටු සංකීර්ණය ද, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මුල්‍ය දාකත්වයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ලද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
මෙම නිරීක්ෂණ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිළකරත්ත, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංග චන්ද්‍රසේන, පොතුවිල් මූළික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය නිතින් රණවක යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.