Sunday, February 02, 2025
Follow Us

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව, ‘ඉසුරුපාය’ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එක ම ප්‍රතිපත්තියක් මත පදනම් ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස අගමැතිවරිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

එම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන් ම සියලු ම පළාත්වලට ද අදාළ විය යුතු බවත් ඒ තුළ, පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවාගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් පැවසූ අගමැතිවරිය, එළඹෙන 2026 වර්ෂයේ දී 1, 6 හා 10 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේ දී ම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද කීවා ය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මියගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී හා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන විෂය භාර අතිරේක ලේකම් සුජාතා කුලේන්ද්‍ර කුමාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටවන ලෙස මෙහි දී යෝජනා විය. පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතු ව තිබෙන බව ද හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී ප්‍රකාශ කළා ය.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, එම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.