Monday, September 15, 2025
Follow Us
පසුබෑමටලක් වුණු පසුගිය වසර පහක කාලය ආපසු 2015 තත්ත්වයට ගෙන ඒමට වගකීමක් පැවරෙනවා

2015 වර්ෂයේ බලයෙන් ඉවත්ව යන විට ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වුණු නගරය බවට කොළඹ නගරය පත් කිරීමට අපට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ (17) දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිණි.

පසුගිය රජයේ වසර පහක පසු බෑමකින් පසුව අද දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා බවත්, එහිදී රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් සියලු කාර්යය මණ්ඩලයට සුවිශාල කාර්යය භාරයක් පැවරෙන බවත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී කියා සිටියේය.

එහිදී අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ,
“දැන් ඔබට විශාල කාර්යයක් පැවරිලා තියෙනවා. පසුබෑමටලක් වුණු පසුගිය වසර පහක කාලය ආපසු 2015 තත්ත්වයට ගෙන ඒමට හා ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නෙ ඔබට. එදා කොළඹ නගරය ගැන අපි කතා කළොත්, අද අපිට කතා කරන්න වෙන්නේ කොළඹ නගරය ගැන පමණක් නෙමෙයි. මුළු ලංකාවම පිළිබඳව. එහිදී කොළඹ, නුවර, ගාල්ල, යාපනය යනාදී ප්‍රධාන නගර පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් අප කටයුතු කළ යුතුයි. ඒ වගේම විශාල වගකීමක් මෙම අමාත්‍යංශයට පැවරිලා තියෙනවා. අපේ අමාත්‍යංශය තුළින්, අපේ දෙපාර්තමේන්තු තුළින් ජනතාවට ඉටු විය යුතු ඉහළම සේවාව හා ජනතා අපේක්ෂාව අපි ඉටු කළ යුතුයි. මෙම කරුණු පිළිබඳ අවධානයක් යොමු කරමින් අපගේ අමාත්‍යංශය කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම පසුගිය යුගයන්වල ද ඔබ කළ සේවය මා අගය කරනවා. එමෙන්ම ඉදිරියේදී ද ඔබ සියලු දෙනාගේ සහයෝගයත් අපි රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා.”

(news.lk)