Monday, September 15, 2025
Follow Us
විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

අද (17) දහවල් 12.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවුණි.

කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් බිඳවැටීම සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

2016 වසරෙන් පසු දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටීමට ලක්ව ඇත්තේ පළමු වරටය.

එහිදීද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගතව තිබුණි.

මේ අතර විදුලිය විසන්ධි වීම හේතුවෙන් මාර්ග සංඥා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

එබැවින් කොළඹ නගරය හා ඒ ආශ්‍රිත මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් රථවාහන කොට්ඨාසය බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

රථවාහන තදබදය අවම කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

කෙසේවුව ද විදුලිය විසන්ධි වීමෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ල වී නොමැති බව දුම්රිය පාළක මැදිරිය සඳහන් කළේය.

අද පස්වරුවේ කොළඹ කොම්පඤ්ඤවීදිය සහ කොටුව ආශ්‍රිතව සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවුව ද මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාළක මැදිරිය පැවසීය.

මේ අතර දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසුවද ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 3 ත් 5 ත් අතර කාලයක් ගතවනු ඇති බවය.

(Lanka Leads)