Monday, September 15, 2025
Follow Us
09 වන පාර්ලිමේන්තුවේ පළමු වන සභා වාරයේ පළමු වන රැස්වීමට සියල්ල සූදානම්

මහ මැතිවරණයෙන් පසුව පළමු පාර්ලිමේන්තු රැස්වීම සඳහා මේ වනවිට සියළු කටයුතු සුදානම් කෙරෙමින් තිබෙනවා. එහිදී කාරක සභා ද අලූතින් පත් කිරීමට නියමිතයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුවේ කාරක සභා පත් කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙලෙස විස්තර කළා.

"පාර්ලිමේන්තුවට එන අණ පනත්, රෙගුලාසි, යෝජනා ඉතා දීර්ඝ වශයෙන් සහ ගැඹුරින් සලකා බලන්න තමයි මේ කාරක සභා තියෙන්නේ. යම් කාරණයක් ඉතා දීර්ඝව පාර්ලිමේන්තුවේ 225ට එකතු වෙලා සාකච්ඡා කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන පරමාර්ගය පාර්ලිමේන්තුවේ කාරක සභා ඇති කරන්න. "

පාර්ලිමේන්තුවේ කි‍්‍රයාත්මක කාරක සභා ක‍්‍රමය පිළිබදවද ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකළා.

"අපේ කාරක සභා ප්‍රධාන වශයෙන් අංශ කිහිපයකට වෙන්කර දක්වන්න පුළුවන්. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව, විශේෂ කාරක සභා, ආංශක අධීක්ෂණ කාරක සභාව, අමාත්‍යාංශ උපදේශන කාරක සභාව, විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභාව ලෙස ඒවා නම් කර තිබෙනවා."

09 වන පාර්ලිමේන්තුවේ පළමු වන සභා වාරයේ පළමු වන රැස්වීම ලබන 20 වන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

(Neth)