Monday, September 15, 2025
Follow Us
මහින්ද රාජපක්ෂ අභිනව රජයේ නව අගමැති ලෙස අද දිවුරුම් දෙයි

මේවර මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීම කැළණිය රජමහා විහාරස්ථානයේ දී අද (09) උදෑසන 8.30ට මහත් අභිමානයෙන් පැවැත්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී මෙම දිවුරුම් දීම සිදු වෙයි.

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමට මෙමස 5 වැනි දා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස, විපක්ෂ නායකවරයකු කටයුතු කළ අතර මීට පෙර තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ධුරයේ දෙවරක් සහ අග්‍රාමාත්‍ය ධුරයේ සිවුවරක් කටයුතු කළ පළමුවැන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා මේ සමඟින් පත්වෙයි.තිස්වසරක කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් දේශපාලන නායකත්වා මෙරට ගමන් මඟ නව හැරවුමකට ලක් කළේ ය.

රට සංවර්ධනයේ ගමන් මඟට යොමු කළ එවකට ''මහින්ද චින්තන '' රාජ්‍ය ප්‍රතිපත්තිය කර ගත් රජය ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජාත්‍යන්තර වරාය ආදී දැවැන්ත සංවර්ධන යෝජනා පමණක් නොව ග්‍රාමීය සංවර්ධනයට ද ශක්තිමත් අඬිතාලමක් ජාතියට දායාද කළේ ය.

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 දින මහනුවර මගුල් මඬුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

(news.lk)